Wednesday, 28 October 2020

 වෙබ් මාධ්‍ය ආචාරධර්ම පිළිබඳ හැරී බැලීමක්

(ඔක්තෝම්බර් 29 දිනට යෙදී ඇති ජාත්‍යන්තර අන්තර්ජාල දිනය නිමිත්තෙන්)

නූතන පුද්ගලයා තුළ පවතින සාක්ෂරතාව විමසීමේ දී ඔහුට හෝ ඇයට අන්තර්ජාල භාවි
ත කිරීමේ හැකියාව පැවතීම ද ඊට අනුගත වේ. ඒ මන්දයත් වර්තමාන සමාජය තොරතුරු මත පදනම් වෙමින් නිර්මාණය සහ ක්‍රියාත්මක වන බැවිනි. එබැවින් ජාත්‍යන්තර අන්තර්ජාල දිනය සමරන අද වැනි දිනක දී අන්තර්ජාලය පිළිබඳව ඔබව දැනුවත් කිරීම අරඹයා මෙම ලිපිය සම්පාදනය කෙරේ. 


1950 දශකය වන විට පරිගණක අතර පාලම් ගොඩනඟමින් කිසියම් වූ ජාලමය ස්වරූපයක් එම පරිගණක පද්ධති අතර ක්‍රියාත්මක විය. අන්තර්ජාලය පිළිබඳව අදහස් දක්වන ජේ්‍ය්ෂ්ඨ කථිකාචාර්ය මනෝජ් ජීනදාස විසින් සිය නව මාධ්‍ය ඉතිහාසය ග්‍රන්ථයේ දී පෙන්වා දෙන්නේ පරිගණකය ආශ්‍රයෙන් එකිනෙකා අතර විශේෂයෙන්ම පර්යේෂණ පදනම් කරගෙන විද්‍යාත්මක තොරතුරු සංසරණයේ ප්‍රතිඵලයක් වශයෙන් අන්තර්ජාලය බිහි වූ බවයි. අන්තර්ජාලය පිළිබඳ ඉතිහාසය අධ්‍යනය කිරීමේ දී මුල් යුගයේ දී අන්තර්ජාලය සඳහා පදනම ලබා දීමට මුල් වූ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක වූ අතර එහි අග්‍රතම ප්‍රතිඵලය වශයෙන් අන්තර්ජාලය බිහි විය. රැන්ඞ් ව්‍යාපෘතිය 1950, ඩාර්පා ව්‍යාපෘතිය 1962 සහ ආර්පානෙට් ව්‍යාපෘතිය ඒ අතර වේ. තවද මේ අතරින් වඩාත් කතා බහට ලක්වන ව්‍යාපෘතිය වන්නේ ආර්පානෙට් ව්‍යාපෘතියයි. ඇමරිකාවේ මිට් සරසවියේ ලෝරන්ස් රොබට් විසින් මැසවුසෙට් සහ කැලිෆෝනියාවේ පරිගණක දෙකක් මගින් පුළුල් ක්ෂේත්‍රයක් ජාලගතකරණයට ලක් කළේය. විවිධ වූ පුද්ගලයින් රැසකගේ සහ පර්යේෂණ ආයතන රැසකගේ දායකත්වයෙන් බිහි වූ අන්තර්ජාලයේ සේවාව මුල් කාලයේ දී ලබා ගත්තේ පරිගණක විශේෂඥයින්, ඉංජිනේරුවරුන්, විද්‍යාඥයින් සහ පුස්තකාලාධිපතිවරුන් පමණි. පසුකාලීනව ටිම් බර්න්ස් ලී වැනි පර්යේෂකයන්ගේ දායකත්වය නිසා අන්තර්ජාලය නමැති ලෝක ව්‍යාප්ති ජාලයේ සේවාව ලබා ගැනීමට සෑම පුද්ගලයෙකුටම අවස්ථාව සැලසුණි. සංඛ්‍යා ලේඛන අනුව අන්තර්ජාල භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව ලෝක මට්ටමින් වර්ධනය වෙමින් පවති.

අන්තර්ජාල පරිශීලකයන් සංඛ්‍යාව දිනෙන් ඉහළ යෑම වර්ධනීය තත්ත්වයක් වශයෙන් දිස්වූවත් අන්තර්ජාලය භාවිත කිරීමේ දී පරිශීලකයා තුළ පැවතිය යුතු සාක්ෂරතාව පිළිබඳ වර්තමානය වන විට ගැටලු මතුවෙමින් පවති. එසේ ගැටලු මතුවීම අරඹයා බලපාන මූලික සාධකය වන්නේ නෛතිකමය රාමුවක් යටතට ගෙන අන්තර්ජාලය පාලනය කළ නොහැකි වීමයි. එමනිසා අන්තර්ජාලය ප්‍රධාන සංරචකය බවට පත් කරගනිමින් ක්‍රියාත්මක වන සමාජ මාධ්‍යවල ආචාරධර්ම මහත් අර්බුදයකට ලක් ව ඇත. මේ අතරින් සමාජ මාධ්‍ය වර්තමානයේ මහජනතාව අතර වඩාත් කතාබහට ලක් වූ අවස්ථා රාශියක් උත්පාදනය කළේය. අන්තර්ජාලය තුළ පවතින අසීමාන්තික ප්‍රවේශය, වේගවත් තොරතුරු ගලනය, විශාල ග්‍රාහක පිරිසක් එකවර ආමන්ත්‍රණය කිරීමේ හැකියාව සහ ක්ෂණික බව ආදී ලක්ෂණ නිසා සාධනීය සහ නිශේධනීය ප්‍රතිඵල උද්ගත වන්නේ ය.

පසුගිය දිනක සමාජ මාධ්‍යක් වූ මුහුණු පොත හරහා රෝමානු කතෝලික සභාවේ අගරදගුරුවරයා සහ කාදිනල්වරයා වූ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට මුහුණ දීමට සිදු වූ සිදුවීම අන්තර්ජාලය සඳහා නෛතිකමය රාමුවක් අවැසි බැව් කියා පාන කදිම අවස්ථාවකි. අදාළ අවස්ථාවේ දී එම කාන්තාව විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හැරී වීඩියෝව මුහුණු පොත හරහා විවිධ ගිණුම්වලට සංසරණය විය. මේ තුළින් පෙනී යන්නේ අදාළ කාන්තාවගේ පමණක් නොව මුහුණු පොත භාවිත කරනු ලබන ඇතැම් පරීශීලකයන් තුළ ද මාධ්‍ය සාක්ෂරතාව නොපවතින බවයි. එබැවින් වර්තමානය වන විට අන්තර්ජාලය ප්‍රධාන සංරචකය බවට පත් කරගනිමින් ක්‍රියාත්මක වන සමාජ මාධ්‍ය සඳහා බලාත්මක ආචාරධර්ම පද්ධතියක් අවැසි බව පෙනී යයි. සමාජ මාධ්‍ය තුළ දී පුද්ගලයාට හිමිවන නිදහස නිසා පරිශීලකයාට සිය සිතැඟි සියලුම දේ සමාජ මාධ්‍ය පළ කිරීමට අවස්ථාව හිමි වේ. එවැනි පහසුකම් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වන රටකට ගැලපෙන්නේ ද යන්න මතුවන ගැටලුවකි. උසස් මාධ්‍ය සාක්ෂරතාවක් සහිත සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් සමාජ මාධ්‍ය භාවිත කිරීම සහ මාධ්‍ය සාක්ෂරතාවක් නොමැති පරිශීලකයින් විසින් සමාජ මාධ්‍ය භාවිත කිරීම අතර විශාල වෙනසක් පවති.

එවැනි සමාජ පසුබිමක් තුළ දී සමාජ මාධ්‍ය උදෙසා බලාත්මක ආචාරධර්ම පද්ධතියක අවශ්‍යතාව වර්තමානයේ මතු වී ඇත. එසේම වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය වැනි සංවිධාන විසින් සම්පාදිත ආචාරධර්ම පද්ධති මහජනතාව අතරට ගෙන යාම අත්‍යවශ්‍ය වේ. තවද අන්තර්ජාලය භාවිත කිරීමේ දී පවතින ක්‍රමවේදයන්ට වඩා විධිමත් ක්‍රමවේදයකට අනුව අන්තර්ජාල ගිණුම් සැකසීම වැනි කාර්යයන් සිදු කිරීම වඩාත් ප්‍රතිඵලදායක වන්නේය. එමනිසා ජාත්‍යන්තර අන්තර්ජාල දිනය සමරන මෙවැනි දිනක දී මහජනතාවගේ සහ අදාළ බලධාරීන්ගේ අවධානය යොමු විය යුත්තේ සමාජ මාධ්‍ය උදෙසා බලාත්මක ආචාරධර්ම පද්ධතියක් නිර්මාණය කිරීම උදෙසායි.

සුමේන්ද්‍ර පෙරේරා


Saturday, 24 October 2020

 අනුකරණය නොකරන්නෙමු. අනුගමනය කරන්නෙමු.

අනුකරණය සහ අනුගමනය පදාර්ථය අතර ඇත්තේ සුළු වෙනසකි. නමුත් එකී පදාර්ථයේ සුළු වෙනස පිළිබඳ පැවතුණු නොවැටහීම නිසා සිදු වූ සමාජ විපර්යාසය සුවිශාල ය. ඇතැම් විටෙක අනුකරණය මෙන් ම අනුගමනය ද යහපත් ප්‍රතිඵල ගෙන දෙන අවස්ථා ඇත. එසේම අනුකරණය සහ අනුගමනය අයහපත් ප්‍රතිඵල ගෙන දෙන අවස්ථා ද ඇත්තේ ය. කොරෝනා වංසගත තත්ත්වය හමුවේ පුරවැසියා විසින් සිදු කළ යුත්තේ අනුගමනය ද අනුකරණය ද ? යන්න තවමත් අප හඳුනාගෙන නොමැති ගැටලුවකි. ගැටලුව ආරම්භයේ දී හඳුනාගනු ලැබුවා නම් කොරෝනා රැළි සිරිලංකාවේ දියඹ යළි සිපගන්නේ නැත.

2020 වසරේ මාර්තු මාසය වන විට හඳුනා ගැනෙන කොරෝනා වංසගත තත්ත්වය හමුවේ සිට රාජ්‍ය පාලනාධිකාරිය විසින් ජනතාව වෙත උපදෙස් දෙන ලද්දේ කොරෝනා වංසගත තත්ත්වයෙන් ආරක්ෂා වීමට පමණි. උපදෙස් පිළිපැදි ජනතාව විසින් කෙටි කාලයකට පමණක් රජය විසින් ලබා දුන්, සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපැද ඒවා අනුගමනය කරන්නට විය. නමුත් අනුගමනය, අනුකරණයක් බවට පත් වීමට ගත වූයේ දින කිහිපයකි. දිවයින පුරා ක්‍රියාත්මක වූ ඇඳිරි නීති තත්ත්වය ලිහිල් වන්නේ මැතිවරණ සමයේ දී ය. එවක් පටන් ශ්‍රී ලාංකිකයා විසින් ලද්දේ නිදහසකි. මාස ගණනක් සිය නිවසට වී දිවි ගෙවූ ජනයාට හිමි වූ නිදහස හමුවේ, ඔවුන් ඇඳිරි සමයේ අනුගමනය කළ නිසි සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනුකරණය කිරීම දක්වා ලඝු කළේ ය. ලිහිල් වූ ඇඳිරි නීතිය යටතේ පුරවැසියා තමන්ගේ දෛනික රැකී රක්ෂා, ආගමික කටයුතු, ප්‍රවාහන කටයුතු, විනෝදය උදෙසා සිදු කරන කටයුතුවල නියැළෙන්නට විය. නිසි සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනුගමනය කිරීමට රජය සහ ජනමාධ්‍ය පුන පුනා මහජනතාව යොමු කරනු ලැබූවත්, මහජනතාව එය අනුගමනය නොව අනුකරණය කරන තත්ත්වයට පත් විය. පිටකොටුව ලංකාවේ මහජනතාව වඩාත් ගැවසෙන කාර්ය බහුලත්වයෙන් පිරි පුරවරයකි. පශ්චාත් කොරෝනා සමයේ දී පිටකොටුව නගරය පිළිබඳ අධ්‍යයනය කරන්නෙකුට පෙනී යන්නේ, කොරෝනා සමයක් පැවතියා ද වත් මහජනතාව නොදන්නා බවකි. මීටරයේ දුර තබා හුස්ම වැටෙන දුරකින්වත් පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමට අපට නොහැකි වුයෙමූ. පොදු ප්‍රවාහන සේවා තුළ දී මුව ආවරණය පැළදූවත්, නොපැළදූවත් ගැටලුවක් නොවීය. පොදු ප්‍රවාහන සේවයේ දී ද මීටරයේ දුර අවශ්‍ය නොවීය. පශ්චාත් කොරෝනා සමයෙන් පසු පුද්ගලයා විසින් පිළිගන්නේ කොරෝනාවෙන් යුක්ත සමාජයක් නොව, කොරෝනා රහිත සමාජයකි. එයින් පෙනී යන්නේ නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නට නොව, එම සෞඛ්‍ය පුරුදු අනුකරණය කරන්නට මහජනතාව යොමු වූ සෙයකි.

තවත් එක් උදාහරණයක් ගනිමු. පළමු කොරෝනා රැල්ලෙන් පසු සෑම වෙළඳ සැලක් හෝ කිසියම් වූ ආයතනයකට ඇතුළු වීමට ප්‍රථම දෑත් සේදීම, මුඛ ආවරණ පැළඳීම සහ ශරීර උෂ්ණත්වය මැන බැලීම වැනි සාධක සඳහා ප්‍රමුඛස්ථානයක් හිමිවිය. නමුත්, කොරෝනා උණුසුම පහව ගොස් වෙනත් දේශපාලන කාරණා සමාජය දෙසින් මතුව එද්දී, ඉහත දැක් වූ සෞඛ්‍ය පුරුදු මහජනතාවගෙන් දුරස් වන්නට විය. මහජනතාවගෙන් පමණක් නොව පළමු කොරෝනා අවධියේ දී ජනමාධ්‍ය තුළ පැවති සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් වැඩපිළිවෙල ද අඩාලව ගියේය. ඒ නයින් පෙනී යන්නේ මහජනතාව පමණක් නොව ජනමාධ්‍ය ද නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකර අනුකරණය කර ඇති සෙයකි. තවත් පුන පුනා පැවසිය යුත්තේ ද අනුගමනය කිරීම; අනුකරණයට වඩා වැදගත් දෙයක් බවයි.

ජනමාධ්‍ය විසින් දක්වන ආකාරයට කොරෝනා රැළි තුනක් දක්නට ඇත. පළමු රැල්ල පහව ගියේය. දෙවන රැල්ල පැමිණියේය; එය ද පහව ගියේය. ඉන්පසු සමාජය නැවත සුපුරුදු ජීවන රටාවට යොමු වූයේය. මහජනතාව අනුගමනය නොව අනුකරණය කළේය. එබැවින් තෙවනි කොරෝනා රැල්ල ද පැමිණියේය. දැන් නැවතත් ජනමාධ්‍ය ජනතාවට ඒත්තු ගන්වන්නට යන්නේ නිසි සෞඛ්‍ය ආරක්ෂණ පුරුදු සඳහා යොමුවීම තුළින් කොරෝනා තත්ත්වය මර්දනය කළ හැකි බවයි. නමුත් ජනමාධ්‍ය විසින් පළමු කොරෝනා අවධියේ පටන් සිය උපදෙස් සම්පාදන කාර්යය නිවැරදිව සිදු කළේ නම්, අද වැනි දවසක ඔවුන්ට අලුත් ආකාරයෙන් කොරෝනාව ගැන කතා කිරීමට සිදු වන්නේ නැත. පළමු කොරෝනා සමයේ ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ රූපවාහිනි ආයතනයක් විසින් වෛද්‍යවරියක් මගින් උපදේශාත්මක දැන්වීමක් නිර්මාණය කොට එම දැන්වීම සිය රූපවාහිනි නාලිකාවේ වරින් වර ප්‍රචාරය කරන ලදි. නමුත්, පළමු සහ දෙවන කොරෝනා රැල්ලෙන් පසු එම රැලිවලට ම හසු වී එම වෛද්‍යවරියගේ උපදේශාත්මක දැන්වීම ද රූපවාහිනියෙන් ගසා ගෙන ගියේය. සැබවින්ම කිව යුත්තේ තෙවනි කොරෝනා අවධියේ දී නැවත එම උපදේශාත්මක දැන්වීම මතක් වීම සිනහව උපදවන සුලු බවයි. උක්ත රූපවාහිනි වෙළඳ දැන්වීමේ දි එම වෛද්‍යවරිය විසින් අවධාරණය කරන ලද්දේ ද කොරෝනාව සමාජයෙන් ඉවත් නොවන බවත්, එය සමඟ ජීවත් වීමට සිදු වන බවත් ය. එබැවින් මහජනතාව සහ ජනමාධ්‍ය විසින් අනුකරණය නොව අනුගමනය සිදු කළ යුත්ත වශයෙන් දන්වා සිටිමි.

සුමේන්ද්‍ර පෙරේරා


කවුද මේ Social Media Influencers කියන්නේ?

  කවුද මේ Social Media Influencer කියන්නේ? 🏷️සමාජයේ ජීවත් වන පුද්ගලයන්ගේ මතවාද සකස් කිරීමට දායක වන පිරිස් ජනමත නායකයින් හෙවත් Public Opinio...