අනුකරණය නොකරන්නෙමු. අනුගමනය කරන්නෙමු.
අනුකරණය සහ අනුගමනය පදාර්ථය අතර ඇත්තේ සුළු වෙනසකි. නමුත් එකී පදාර්ථයේ සුළු වෙනස පිළිබඳ පැවතුණු නොවැටහීම නිසා සිදු වූ සමාජ විපර්යාසය සුවිශාල ය. ඇතැම් විටෙක අනුකරණය මෙන් ම අනුගමනය ද යහපත් ප්‍රතිඵල ගෙන දෙන අවස්ථා ඇත. එසේම අනුකරණය සහ අනුගමනය අයහපත් ප්‍රතිඵල ගෙන දෙන අවස්ථා ද ඇත්තේ ය. කොරෝනා වංසගත තත්ත්වය හමුවේ පුරවැසියා විසින් සිදු කළ යුත්තේ අනුගමනය ද අනුකරණය ද ? යන්න තවමත් අප හඳුනාගෙන නොමැති ගැටලුවකි. ගැටලුව ආරම්භයේ දී හඳුනාගනු ලැබුවා නම් කොරෝනා රැළි සිරිලංකාවේ දියඹ යළි සිපගන්නේ නැත.
2020 වසරේ මාර්තු මාසය වන විට හඳුනා ගැනෙන කොරෝනා වංසගත තත්ත්වය හමුවේ සිට රාජ්‍ය පාලනාධිකාරිය විසින් ජනතාව වෙත උපදෙස් දෙන ලද්දේ කොරෝනා වංසගත තත්ත්වයෙන් ආරක්ෂා වීමට පමණි. උපදෙස් පිළිපැදි ජනතාව විසින් කෙටි කාලයකට පමණක් රජය විසින් ලබා දුන්, සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපැද ඒවා අනුගමනය කරන්නට විය. නමුත් අනුගමනය, අනුකරණයක් බවට පත් වීමට ගත වූයේ දින කිහිපයකි. දිවයින පුරා ක්‍රියාත්මක වූ ඇඳිරි නීති තත්ත්වය ලිහිල් වන්නේ මැතිවරණ සමයේ දී ය. එවක් පටන් ශ්‍රී ලාංකිකයා විසින් ලද්දේ නිදහසකි. මාස ගණනක් සිය නිවසට වී දිවි ගෙවූ ජනයාට හිමි වූ නිදහස හමුවේ, ඔවුන් ඇඳිරි සමයේ අනුගමනය කළ නිසි සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනුකරණය කිරීම දක්වා ලඝු කළේ ය. ලිහිල් වූ ඇඳිරි නීතිය යටතේ පුරවැසියා තමන්ගේ දෛනික රැකී රක්ෂා, ආගමික කටයුතු, ප්‍රවාහන කටයුතු, විනෝදය උදෙසා සිදු කරන කටයුතුවල නියැළෙන්නට විය. නිසි සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනුගමනය කිරීමට රජය සහ ජනමාධ්‍ය පුන පුනා මහජනතාව යොමු කරනු ලැබූවත්, මහජනතාව එය අනුගමනය නොව අනුකරණය කරන තත්ත්වයට පත් විය. පිටකොටුව ලංකාවේ මහජනතාව වඩාත් ගැවසෙන කාර්ය බහුලත්වයෙන් පිරි පුරවරයකි. පශ්චාත් කොරෝනා සමයේ දී පිටකොටුව නගරය පිළිබඳ අධ්‍යයනය කරන්නෙකුට පෙනී යන්නේ, කොරෝනා සමයක් පැවතියා ද වත් මහජනතාව නොදන්නා බවකි. මීටරයේ දුර තබා හුස්ම වැටෙන දුරකින්වත් පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමට අපට නොහැකි වුයෙමූ. පොදු ප්‍රවාහන සේවා තුළ දී මුව ආවරණය පැළදූවත්, නොපැළදූවත් ගැටලුවක් නොවීය. පොදු ප්‍රවාහන සේවයේ දී ද මීටරයේ දුර අවශ්‍ය නොවීය. පශ්චාත් කොරෝනා සමයෙන් පසු පුද්ගලයා විසින් පිළිගන්නේ කොරෝනාවෙන් යුක්ත සමාජයක් නොව, කොරෝනා රහිත සමාජයකි. එයින් පෙනී යන්නේ නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නට නොව, එම සෞඛ්‍ය පුරුදු අනුකරණය කරන්නට මහජනතාව යොමු වූ සෙයකි.
තවත් එක් උදාහරණයක් ගනිමු. පළමු කොරෝනා රැල්ලෙන් පසු සෑම වෙළඳ සැලක් හෝ කිසියම් වූ ආයතනයකට ඇතුළු වීමට ප්‍රථම දෑත් සේදීම, මුඛ ආවරණ පැළඳීම සහ ශරීර උෂ්ණත්වය මැන බැලීම වැනි සාධක සඳහා ප්‍රමුඛස්ථානයක් හිමිවිය. නමුත්, කොරෝනා උණුසුම පහව ගොස් වෙනත් දේශපාලන කාරණා සමාජය දෙසින් මතුව එද්දී, ඉහත දැක් වූ සෞඛ්‍ය පුරුදු මහජනතාවගෙන් දුරස් වන්නට විය. මහජනතාවගෙන් පමණක් නොව පළමු කොරෝනා අවධියේ දී ජනමාධ්‍ය තුළ පැවති සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් වැඩපිළිවෙල ද අඩාලව ගියේය. ඒ නයින් පෙනී යන්නේ මහජනතාව පමණක් නොව ජනමාධ්‍ය ද නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකර අනුකරණය කර ඇති සෙයකි. තවත් පුන පුනා පැවසිය යුත්තේ ද අනුගමනය කිරීම; අනුකරණයට වඩා වැදගත් දෙයක් බවයි.
ජනමාධ්‍ය විසින් දක්වන ආකාරයට කොරෝනා රැළි තුනක් දක්නට ඇත. පළමු රැල්ල පහව ගියේය. දෙවන රැල්ල පැමිණියේය; එය ද පහව ගියේය. ඉන්පසු සමාජය නැවත සුපුරුදු ජීවන රටාවට යොමු වූයේය. මහජනතාව අනුගමනය නොව අනුකරණය කළේය. එබැවින් තෙවනි කොරෝනා රැල්ල ද පැමිණියේය. දැන් නැවතත් ජනමාධ්‍ය ජනතාවට ඒත්තු ගන්වන්නට යන්නේ නිසි සෞඛ්‍ය ආරක්ෂණ පුරුදු සඳහා යොමුවීම තුළින් කොරෝනා තත්ත්වය මර්දනය කළ හැකි බවයි. නමුත් ජනමාධ්‍ය විසින් පළමු කොරෝනා අවධියේ පටන් සිය උපදෙස් සම්පාදන කාර්යය නිවැරදිව සිදු කළේ නම්, අද වැනි දවසක ඔවුන්ට අලුත් ආකාරයෙන් කොරෝනාව ගැන කතා කිරීමට සිදු වන්නේ නැත. පළමු කොරෝනා සමයේ ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ රූපවාහිනි ආයතනයක් විසින් වෛද්‍යවරියක් මගින් උපදේශාත්මක දැන්වීමක් නිර්මාණය කොට එම දැන්වීම සිය රූපවාහිනි නාලිකාවේ වරින් වර ප්‍රචාරය කරන ලදි. නමුත්, පළමු සහ දෙවන කොරෝනා රැල්ලෙන් පසු එම රැලිවලට ම හසු වී එම වෛද්‍යවරියගේ උපදේශාත්මක දැන්වීම ද රූපවාහිනියෙන් ගසා ගෙන ගියේය. සැබවින්ම කිව යුත්තේ තෙවනි කොරෝනා අවධියේ දී නැවත එම උපදේශාත්මක දැන්වීම මතක් වීම සිනහව උපදවන සුලු බවයි. උක්ත රූපවාහිනි වෙළඳ දැන්වීමේ දි එම වෛද්‍යවරිය විසින් අවධාරණය කරන ලද්දේ ද කොරෝනාව සමාජයෙන් ඉවත් නොවන බවත්, එය සමඟ ජීවත් වීමට සිදු වන බවත් ය. එබැවින් මහජනතාව සහ ජනමාධ්‍ය විසින් අනුකරණය නොව අනුගමනය සිදු කළ යුත්ත වශයෙන් දන්වා සිටිමි.
සුමේන්ද්‍ර පෙරේරා
No comments:
Post a Comment