Wednesday, 17 April 2019

කිතු සිරිත කාව්‍යට නැඟූ ගොන්සාල්වෙස් පියතුමා

ලෝකයේ දිවි ගෙවන සමස්ත කතෝලික ජනතාව අතර ගෞරව බුහුමානයට පාත්‍ර වන ශුද්ධ වූ බයිබලය පිළිබඳව කතෝලික මෙන්ම කතෝලික නොවන ඇතැම් පිරිස් තුළ ද ඇත්තේ ගෞරව සම්ප්‍රයුක්ත භක්තියකි. ඒ දේව වචනය ශුද්ධ වූ බයිබලයේ අන්තර්ගත වන නිසාවෙනි. ක්‍රි.පූ. 900 සිට ක්‍රි.ව. 100 අතර කාල සමයේ දී රචනා වන ශුද්ධ වූ බයිබලය ප්‍රධාන වශයෙන් ගද්‍ය ස්වරූපයෙන් ඉදිරිපත් කිරීමට බයිබල් කතුවරයා උත්සහ දරා ඇති බව බයිබලය අධ්‍යයනයෙන් පෙනී යන්නේ ය. එකී ශුද්ධ වූ බයිබලය එසේ නොමැතිනම් කිතු සිරිත සිය පන්හිඳෙන් කාව්‍යට නැඟූ ප්‍රතිභා සම්පන්න පඬිවරයා පිළිබඳ බොහෝ දේ වර්තමානය වන විට කතෝලික ශාසනයෙන් වියැකී යන බව මාගේ අදහසයි. එබැවින් සිංහල කතෝලික සාහිත්‍යයේ පුරෝගාමීයා වශයෙන් විරුදාවලිය ලත් ගෞරවනීය ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා විසින් විරචිත වේද කාව්‍ය තුළින් මතුවන කිතු සිරිතේ මනස්කාන්ත සාහිත්‍ය දර්ශනය ගෙන හැර පෑම මෙම ලිපියේ අරමුණ යි.

1705 දී ලක්දිවට පැමිණෙන ඔරතෝලියානු නිකායික ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා විසින් රචනා කරන ලද සමස්ත ග්‍රන්ථ සංඛ්‍යවෙන් සිංහල භාෂාවෙන් රචනා වූ ග්‍රන්ථ සංඛ්‍යාව විස්සක් වන අතර ඉන් වේද කාව්‍යට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ක්‍රි.ව. 1725 දී පමණ රචනා වූවා යැයි සඳහන් වන වේද කාව්‍ය තුළ මුළුමනින්ම කිතු සිරිත පද්‍ය පන්ති අතර කැටි කොට දක්වන්නට ගත් වෑයමක් වශයෙන් නම් කළ හැක. පද්‍ය පන්ති 528 කින් සමන්විත වන වේද කාව්‍ය තුළ ලෝකය මැවීමේ සිට ක්‍රිස්තුස් වහන්සේගේ ස්වර්ගාරෝහණය දක්වා ප්‍රධාන සිදුවීම් පද්‍ය මගින් ගෙන හැර දැක්වීමට ගොන්සාල්වෙස් පියතුමා දක්වා ඇත්තේ නිසඟ කාව්‍ය ප්‍රතිභාවකි. සුගති උද්‍යානය, ශුද්ධ වූ ත්‍රීත්වය, මනුෂ්‍යා මැවීම, දෙව් මව් උපත, කිතු උපත, දස පණත, කුරුසයේ මරණය සහ ස්වර්ගාරෝහණය ආදි වශයෙන් ශුද්ධ වූ බයිබලයේ ප්‍රධාන සිදුවීම් අනුප්‍රාසය, ළය, එලිවැට ආදි කාව්‍ය අලංකාර තුළ සංයෝජනය කරලීමට ගොන්සාල්වෙස් සාහිත්‍ය සමත්කම් පෑවේය.
එවකට ශ්‍රී ලංකාවේ පැවති දේශීය සංස්කෘතියට අනුගතව කාව්‍යකරණය සිදු කළ ගොන්සාල්වෙස් පියතුමා විසින් සිංහල භාෂාවෙන් , සිරිලක පරිසරයට ආගන්තුක වූ ශුද්ධ වූ බයිබලයේ සිදුවීම් පද්‍ය මගින් සැදැහැවත් ජනතාව වෙත ඉදිරිපත් කරන ලදි. ගොන්සාල්වෙස් පියතුමා වේද කාව්‍ය ආරම්භ කරනු ලබන්නේ සම්භාව්‍ය සිංහල ලේඛකයන් මෙන් දේව නමස්කාරයකිනි. ශුද්ධ වූ ත්‍රීත්වයට සිදු කරන නමස්කාරයෙන් වේද කාව්‍ය සැදැහැවත් දනන් වෙත ගෙන යනු ලබන්නේ මෙලෙසිනි.

රිවි සෙබා දෙරණ’ඹ            ර
මැවු ලෙව් මෙ අප සිරි ස      ර
නමදිමි එ සුර ව                ර
සදා බැති පෙම් සිතිනි නිරතු   ර


ශුද්ධ වූ බයිබලයේ සඳහන් වන ලෝකය මැවීම සහ ඒදන් උයනේ සිරි අසිරිය දේශීය පරිසරයට ගලපා ඉදිරිපත් කර ඇත්තේ මෙලෙසිනි.

අඹ දඹ කරඹ ද රස මොර ගිර          ඹා
ලොබ කර බුදිනා මී අඹ පත            ඹා
ලඹ කර තුරු නැමී මා මොර ඇට       ඹා
නිබඳම බුදිනට මැව්වේ සසො           බා

ඒදන් උයන පිළිබඳව ඕලන්ද පාලනයෙන් පීඩාවට පත්ව සිටි කතෝලික බැතිමතුන්ට දැනවීමට ගොන්සාල්වෙස් පියතුමා යොදා ගනු ලබන්නේ දේශීය පරිසරය යි. අප පරිසරයේ දී නිතර අපට ඇස ගැටෙන වස්තූන් තුළින් ගොන්සාල්වෙස් පියතුමා කාව්‍ය පබඳින්නේ දේශීයත්වය තුළින් ගොඩනැඟුණු ලක් කිතු සසුනක් ස්ථාපිත කිරීමේ බලාපොරොත්තුවෙනි. ශුද්ධ වූ බයිබලයේ සඳහන් නොවන විසිතුරු පලතුරු වර්ග සුගති උද්‍යානයේ ඇති බව දක්වන්නට ගොන්සාල්වෙස් පියතුමා උත්සහ දරා ඇත. පේර, ජම්බු, නාරං, අන්නාසි, වීර, පලු, සිදරන්, රසැඹිල්ල... ආදි නොයෙක් වර්ගයේ පලතුරු සහ ඉද්ද, මානෙල් ආදි වු පුෂ්පයන්ගෙන් සුගති උද්‍යානය සැරසීමට එතුමෝ සමත් විය. සුගති උද්‍යානයේ අසිරිය මෙන්ම කිතු උපතේ අසිරිය ද මනහර කාව්‍ය රචනයෙන් පබඳින්නට එතුමා සමත් වූයේ මේ ආකාරයට ය.

පුන් සඳ වලාවෙන් පෑවූවා ලෙසි                 නේ
රන් කරඬුවෙන් එලියට ගත් මැණික මෙ         නේ
තැන් ලොව පසිඳු පිත් දෙව් කුමරුන් උප        නේ
පින් ඇති දෙවිඳු කන්‍යා කුසින් බිහි වු            ණේ

ශ්‍රී ලාංකික බෞද්ධ සාහිත්‍යයේ එන ඇතැම් ආභාෂයන් ගොන්සාල්වෙස් පියතුමාගේ කාව්‍ය රචනාවන් තුළින් මනාවට පිළිඹිබු වේ. බෞද්ධ භික්ෂූන්ගෙන් සහ ගස්කොන් අධිකාරම් තුමාගෙන් සිංහල භාෂාව පිළිබඳ ලත් දැනුම නිසාවෙන් නිසඟයෙන් ම එතුමාගේ කාව්‍යකරණයට බෞද්ධ සාහිත්‍යයේ බලපෑම එක් වන්නට විය. සිංහල බෞද්ධ සාහිත්‍යයේ එන පුන් සඳ, දඹදිව, විසාලා නුවර, යමයින්, බිම්බර සේනාව, පෝරුව ආදි වචනාර්ථයන් ගොන්සාල්වෙස් පියතුමාගේ වේද කාව්‍යයේ පද්‍ය පන්තීන් අතර දී අපට හමු වේ. ජකෝමේ ගොන්සාල්වෙස් පියතුමා ලක්දිවට වැඩම කර එවකට පැවති බුදුගුණාලංකාරය, ගුත්තිල කාව්‍යය, සුභාෂිතය ආදි සම්භාව්‍ය පතපොත පරීශීලනය කරන්නට වූයේය. එබැවින් අපට මුල් යුගයේ දී ආගන්තුක වූ කිතු සමය කෙරෙහි ජනතාවගේ භක්තිය ලබා ගැන්මට එතුමෝ මෙවැනි කාවf්‍යා්පක්‍රම භාවිත කරන්නට විය. එබැවින් දේශීය කතෝලික සාහිත්‍යක් කෙරෙහි ලක්දිව කිතු සසුන මෙහෙය වූ පඬිවරයා බවට පත් වන්නේ ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා ය.
වේද කාව්‍යයේ දී ගොන්සාල්වෙස් පියතුමා විසින් රජ තුන් කට්ටුව ජේසූ බිලිදාණන්ව බැහැදැකීමට යාම පද්‍යයෙන් ඉදිරිපත් කරනු ලබන්නේ මේ ආකාරයෙනි.

රජ තුමෝ තුන් දෙ                      න
දෙවියන් දකින අදරි                     න
වෙන වෙන පඬුරු ගෙ                  න
තොසින් නික්මව යන්නට නො ලසි     න

ක්‍රිස්තුස් වහන්සේගේ නාමයට නමස්කාර කරමින් පද්‍යයෙන් ශුද්ධ වූ බයිබලය රචනා කර එවකට පීඩා විදි කතෝලික ජනයා වෙත වේද කාව්‍ය ඉදිරිපත් කරනු ලබන්නේ ඔවුන් තුළ දේව භක්තිය සහ දිව්‍ය සංරක්ෂණය ඇති කරලීම පිණිස ය. එමනිසා උන්වහන්සේ සියතින් පබැඳෙන කවියෙහි සාහිත්‍ය පිළිබඳ අවධානය යොමු කර වූයේ නැත. නමුත් ගොන්සාල්වෙස් පියතුමාගේ පද්‍ය සංකල්පනාවන් තුළ සම්භාව්‍ය සාහිත්‍ය ගුණාංගයන් අන්තර්ග්‍රහනය වූ නිසාවෙන් එඞ්මන්ඞ් පීරීස් රදගුරු තුමා වැනි චරිත ගොන්සාල්වෙස් සාහිත්‍ය ප්‍රශංසාවට ලක් කළේ ය. එනමුත් ගොන්සාල්වෙස් පියතුමාගෙන් පසු එතුමෝ ගොඩනංවන ලද දේශීය කිතුනු සාහිත්‍ය නම් වූ භවනේ සුවිසල් ප්‍රාකාරය ගොඩනංවන්නට දැවැන්ත පුරුෂයෙක් නොවීය. එබැවින් බි්‍රතාන්‍ය පාලන යුගයේ දී ලක්දිව කතෝලික සාහිත්‍ය ඉංග්‍රිසි සාහිත්‍යයේ පරිවර්තනයක් බවට පත් විය. ඉන්පසු එනම් නිදහසින් පසු යුගයේ දී ගරු. එඞ්මන්ඞ් පීරිස් රදගුරු තුමා සහ ගරු. මර්සලීන් ජයකොඩි පියතුමා අතින් සිදු සාහිත්‍ය සේවය ගොන්සාල්වෙස් සාහිත්‍යයේ ඉදිරි පිම්මක් වූයේ ය.

සාහිත්‍ය යනු යම්කිසි ජාතියක හෝ ජන කොටසක අනන්‍යතාවය පිළිඹිබු කරන කැඩපතකි. එසේනම් කිතුනු ජන කොට්ඨාසයේ අනන්‍යතාවය පිළිඹිබු කරනු ලබන ගොන්සාල්වෙස් පියතුමාගේ සාහිත්‍ය පිළිබඳව අපගේ අවධානය දැන් යොමු විය යුතුව ඇත. මන්දයත් දිනෙන් දින අභාවයට යන ගොන්සාල්වෙස් සාහිත්‍ය පිළිබඳව අනාගත පරපුර දැනුම්වත් කිරීම මෙන්ම සාමාන්‍ය ජනයා අතර ගොන්සාල්වෙස් සාහිත්‍ය ප්‍රචලිත කිරීම සභා නායකයන්ගේ අවධානයට ලක් විය යුතු කාලෝචිත පියවරක් වන්නේ ය. 
වරක් ගැයීම දෙවරක් යැදීමක් බව යථාර්ථයක් වන්නේ නම් වේද කාව්‍ය ශුද්ධ වූ බයිබලය ගැඹුරින් මෙනෙහි කිරීමක් වන්නේ ය.

දමිත් සුමේන්ද්‍ර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

No comments:

Post a Comment

කවුද මේ Social Media Influencers කියන්නේ?

  කවුද මේ Social Media Influencer කියන්නේ? 🏷️සමාජයේ ජීවත් වන පුද්ගලයන්ගේ මතවාද සකස් කිරීමට දායක වන පිරිස් ජනමත නායකයින් හෙවත් Public Opinio...