සුජීව සිරිමෙවන් සමඟ පැයක්.... රසවින්දනයේ ස්පර්ශයන්
වා. ලෝකයේ මිනිස්සු විවිධාකාර වුණත් ජිවිතේ, අපි හැමෝටම මුහුණ දෙන්න තියෙන ජීවිතේ ගොඩාක් දේවල් ඒකාකාරයි. ඒ නිසා මිනිස්සු හැටියට අපි කැමතියි... අලුත් අලුත් රසයන් සොයා යන්න. සමහර අය තමන් කැමති, තමන්ගේ සිතැඟි කලාවක් ගැන උනන්දුවක් දක්වන්නේ මේ නිසා. ඒ වගේම අලුත් අලුත් දේ හොයාගෙන යන්න මේ රසය අපිට ලොකු උදව්වක් වෙනවා.
ඒ නිසාම රසය කියන්නේ විවිධ වු ආකාරයට හඳුන්වන්න පුළුවන් දෙයක්. ඒ නිසාම අපි ගීතය, චිත්‍ර කලාව, ක්‍රීඩාව, ස්වාභාව සෞන්දර්ය වගේ දේවල්වලට කැමැත්තක් දක්වන්නේ මේ දේවල්වල සැඟවිලා තියෙන රසයට අපි දක්වන ආශාව නිසයි. මොකද ඒ අප විඳින රසයට පුළුවන් වෙනවා අපි තුළ අලුත් අදහස් වගේම අලුත් මිනිසෙක් ගොඩනඟන්න. අලුත් මිනිසෙක් තනන්න රසයට පුළුවන් නම්, ඔබ, මම කළ යුත්තේ තව නව රසයන් හඹා යාමයි. ඒ වගේම අලුත් විදියට ලෝකය දැකීමයි. ඒ තුළින් අපිට පුළුවන් වෙනවා රසවත් ලෝකයක් බිහි කරන්න වගේම, රසවත් මිනිසෙක් ගොඩනඟන්න.
එහෙමනම් අපි කළ යුත්තේ රසය සොයා යන මේ ගමනේ දී මේ රසය ගැන දන්නා කෙනෙකුගෙන් රසය ගැන අසා දැනගැනීමයි. ඒ නිසා ඈ දෙවනේ ගමනේ මංගල කලාපයේ දී අප හමුවන්නේ අපේ රටේ ඉන්න රසකාමීයෙක්. ඔහු නමින් ප්‍රවීණ විචාරක සුජීව සිරිමෙවන්. අද සිට රසවින්දනයේ නව නිම්වලළු පුළුල් කරන්නට අප හා එක්වන සුජීව සිරිමෙවන් සමඟ ඈ අප සූදානම් වෙනවා ඔබේ රසයට වැඩි යමක් එකතු කරන්න. ඉතින් මේ දිගහැරෙන්නේ ඈ ඔබගේ රසවින්දන පිටුවට, සුජීව සිරිමෙවන්ගේ පන්හිඳෙන් හැඩගැන්වෙන නව රසය යි.
ඔව්. මුලින්ම මම ඈ දෙවෙනි ගමනට සුභ ප්‍රාර්ථනා එක් කරනවා. ඒ වගේම පාඨකයා වෙත නිවැරදි දැනුමක් ලබා දීමට ඈ දරන මේ උත්සහය මම අගය කරනවා. ඉතින් කලින් කිව්වා වගේ අද ඉඳන් අපි ඔබව රසවින්දනයේ නවමු මානයන් වෙත ගෙන යන්නට සූදානම් වෙනවා. අද අපි රසාස්වාදයට ලක් කරන්නේ බිරිඳ ගැන.
සමාජයේ බිරිඳක් කොයි වගේ වෙන්න ඕනේ ද කියලා සමාජය ඇතුළේ විවිධ කතිකාවත් ගොඩනැඟෙනවා. මතවාද ගොඩනැඟෙනවා. සංවාද ගොඩනැඟෙනවා. සමාජයේ ජීවත් වන අය ම තමන්ගේ බිරිඳ පිළිබඳව නොයෙක් අදහස් ඉදිරිපත් කරනවා. තමන්ගේ බිරිඳ පිළිබඳ ඇගයීමයක් වගේම සමහරක් වෙලාවට තමන්ගේ බිරිඳ විවේචනයට ලක් කරනවා. මේ මෑතක දී මට අහන්නට ලැබුණු දෙයක් තමයි; ස්වාමි පුරුෂයෙක් තමන්ගේ බිරිඳට මාසයකට දෙකකට සැරයක්වත් කායිකව ප්‍රහාරයක් එල්ල කරන්න ඕනේ කියලා කරන යෝජනාව. අතින් පයින් පහර දීලා එයාට මතක් කරලා දෙන්න ඕනේ කියනවා එයා ගැහැණියක් කියලා. ඒ වගේ පුරුෂාධිපත්‍යධාරී මතවාදවල ඉඳගෙන තමන්ගේ බිරිඳට ප්‍රතිචාර දක්වන ස්වාමි පුරුෂයෝ අපේ සමාජයේ දකින්නට ලැබෙනවා. ඒ වගේම ඉතාම ආදරෙන් තමන්ගේ බිරිඳව ඇගයීමට ලක් කරන ස්වාමි පුරුෂයෝ ඉන්නවා.
මම හිතන විදියට ගොඩාක්ම වෙලාවට අපේ සමාජයේ දකින්න ලැබෙන දෙයක් තමයි, විවාහ වීමට කලින් ප්‍රේම කරන අවස්ථාවේ දී පෙම්වතුන්, පෙම්වතියන් විදියට ඉන්න දෙදෙනෙක් ; ඒ දෙදෙනා අගය කරගන්නා තරම් , ඒ දෙදෙනf වර්ණනා කරගන්නා තරම්, ඒ දෙදෙනට කියන බොළඳ සුන්දර ප්‍රේම වදන් වගේ ආදරණීය ඇමතුම්වලින් විවාහ දිවියට පත් වුණාට පස්සේ ඔවුන්නොවුන් ආමන්ත්‍රණය කරගන්නේ නැති එක. යුග දිවියෙන් කාන්තාවක් අපේක්ෂා කරන උත්තරීතර බලාපොරොත්තු තියෙනවා. ඒ උත්තරීතර බලාපොරොත්තු අතර තියෙන ඉතා වැදගත් දෙයක් තමයි; සාද කතා, සාද තෙපුල්. ඒ කියන්නේ ඔවුනොවුන් ඉතාම ආදරයෙන්, ළෙංගතුව තම තමන්ගේ ජීවිතය ගැන තම තමන්ගේ හැඟීම් ගැන කරන කතා බහ. ප්‍රේම කරන අවධියේ දී පෙම්වතුන් බොහෝ වේලාවක් අරගෙන ඒ ප්‍රේම අල්ලාප සල්ලාපවල යෙදුණත් යුග දිවියට පිවිසුණාට පස්සේ ඔබ දන්නවා; ඒ ප්‍රේම අල්ලාප සල්ලාපයේ යෙදෙන්න වෙලාව නැති වෙනවා.
එකක් ඔවුන්ගේ දිවියේ කාර්යබහුලකම නිසා වෙන්න පුළුවන්; හැබැයි ඒ කාර්යබහුලකම නිසාම කියනවාටත් වඩා මම හිතන්නේ ඇත්තටම ඒගොල්ලන්ට ඒ පිළිබඳව අවශ්‍යතාවක් නැතිකම නිසා තමයි ඔවුන් ඒ වගේ අවස්ථාවක් උදා කරගන්නේ නැත්තේ කියලයි මම හිතන්නේ. ඒක එහෙම වෙන්න හේතුව ගොඩක් වෙලාවට පෙම්වතුන් හැටියට හිටපු ඔවුන්ට යුග දිවියෙ දී ඔවුන්ගේ බැඳීමේ සම්බන්ධතාව නීරස වෙලා යන එක. ගොඩක් වෙලාවට යුග දිවියේ ආරම්භයේ දී මුලින් මුලින් ස්වාමි පුරුෂයා බිරිඳ කරන දේවල් අගය කරන්න පටන් ගන්නවා. රසවත් කෑමක් පිළියෙල කරලා දුන්නත් අගය කරනවා; නමුත් ටික කාලයක් යන කොට ඒවා බිරිඳ විසින් කළ යුතු යුතුකම්, වඟකීම් හැටියට හිතලා ඒ අගය කිරීම ස්වාමි පුරුෂයා අතින් මඟ හැරෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තත්. ස්වාමි පුරුෂයා කරන පුංචි පුංචි දේවල්, සමහර විට බිරිඳ එක්කගෙන යන්න මඟට එන එක වගේ දේවල් බිරිඳ ඇගයීමට ලක් කරන්නේ නැහැ. අපි වැඩිහිටියෝ බවට පත් වුණත් අපි ගොඩක් වෙලාවට කැමතියි කාගේ හරි ඇගයීමක් ලබන්න. කාගේ හරි ඇගයීමක් ලැබීම අපි ප්‍රහර්ෂයට පත් වන කාරණාවක්. ගොඩක් අය ගොඩක් වෙලාවට උත්සහ කරන්නේ නැහැ තමන්ට උදව් කරන කෙනා ඇගයීමට පත් කරන්න.
මේ වගේ ගොඩාක් දේවල් විවාහ ජීවිතයේ තියෙද්දි අපිට ගීතයක් අහන්න ලැබෙනවා; ඒ අපි අතරින් වියෝ වුණු ප්‍රවීණ ගී පද රචකයෙක් වුණු අධිනීතීඥ රන්බණ්ඩා සෙනෙවිරත්න පබඳින ලද නීලා වික්‍රමසිංහ ගායනා කරන ලද ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කරපු අපූරු ගීතයක්. වෙනස් විදියකට යුග දිවියේ එක්තරා අවස්ථාවක් නිරූපණය කරන ගීතයක් හැටියට මේ ගීතය සලකන්න පුළුවන්.
ඔබ ගෙදර එන්න පහන් තරුව පායන විටවත්
කම් නැත මගේ හිමි සඳුනේ දෑස දුහු වෙලා තිබුණට
මුව තැවරුණු දුම සුවඳයි නිදිබර සුස්මෙන් සුස්මට
ආගිය තැන් නාසන්නෙමි සංකා නොම ගන්න
අපි දන්නවා අලුතින් විවාහ වු ස්වාමි පුරුෂයා බොහොම ආදරෙන් තමන්ගේ බිරිඳව ඉතා ඉක්මනින් දැකගන්න බලාපොරොත්තුවෙන ඉතා ඉක්මනින් ගෙට ගොඩ වෙනවා. රැකියාවේ කවර බාධක තිබුණත්, අතරමඟ මොන වගේ බාධක තිබුණත්, ඉතා ඉක්මනින් තමන්ගේ නිවසට ගොඩ වැඳිලා තමන්ගේ ආදරණීය ප්‍රිය බිරිඳ දැක ගැනීමට උනන්දු වෙනවා. නමුත් කල් යන කොට; බිරිඳට වඩා වැදගත් වෙන යාළුවෝ, බිරිඳට වඩා වැදගත් වෙන මත්පැන්, බිරිඳට වඩා වැදගත් වෙන වෙන වෙනත් බොහෝ දේවල් ස්වාමි පුරුෂයාගේ ලෝකේ ප්‍රමුඛතාවට පත් වෙනවා. එයින් සිද්ධ වෙන්නේ බිරිඳ, ස්වාමි පුරුෂයා එනකල් හැමදාමත් මඟ බලාගෙන ඉන්න එක. මෙන්න මෙහෙම අවස්ථාවක් තමයි මේ රන්බණ්ඩා සෙනෙවිරත්න මේ නිර්මාණයට අරගෙන තියෙන්නේ. අපි අහලා තියෙන විදියට, අපි දැකලා තියෙන විදියට මේ තත්ත්වය නිසා බිරින්ඳෑවරු ගොඩාක් යක්ෂාවේශ වෙනවා. මාරාවේශ වෙනවා. එහෙම යක්ෂවේශ වෙලා, මාරාවේශ වෙලා තමන් ගෙට ගොඩවඳිනවත් එක්කම ස්වාමි පුරුෂයාට බැන වදින්න පටන් ගන්නවා. සමහර වෙලාවට ස්වාමි පුරුෂයෝ , බිරිඳ අතරමඟ දකින්නත් කලින්, රූපේ දකින්නත් කලින් බැන වදින්න පටන් ගන්නවා.
කට ගොන්නක් බීගෙන, සිහි කල්පනාවක් නැතිව ගෙට ගොඩ වැදුණා විතරක් නෙමෙයි, ආගිය තැනක් විමසනවට කැමති නැති ස්වාමි පුරුෂයෝ ඉන්නවා. කොහෙද ගියේ කියලා අහන එක පවා; ඉන්නේ කොහෙද කියලා අහන එක පවා, එහෙමත් නැතිනම් කා එක්ක ද ඉන්නේ කියලා අහන එක පවා මොන ක්‍රියාවක ද නිරත වෙලා ඉන්නේ කියන එක පවා ස්වාමි පුරුෂයාට කේන්ති යන කාරණාවක් වෙනවා. දැන් මෙහෙම වාතාවරණයත් ඇතුළේ වෙනස් විදියේ බිරිඳක් අපිට ප්‍රතිනිර්මාණය කරලා පෙන්වනවා; රන්බණ්ඩා සෙනෙවිරත්න මේ ගීතය ඇතුළේ. මේ බිරිඳ මහ රෑ දෙගොඩ හරියේ සමහර වෙලාවට පාන්දර යාමේ වෙනකල් ඉඳලා ගෙදර එන තමන්ගේ සැමියව ආමන්ත්‍රණය කරන්නේ. එහෙමවත් එන්නේ නැති සැමියට තමයි මේ කියන්නේ ඔබ ගෙදර එන්න පහන් තරුව පායන විටවත් කම් නැත මගේ හිමි සඳුනේ දෑස දුහු වෙලා තිබුණට මුව තැවරුණ දුම සුවඳයි නිදිබර සුස්මෙන් සුස්මට. තමන්ගේ ආදරණීය සැමියා නිවසට එන්නේ නැති විට ඇය සැමියට කියනවා ඔබ ගෙදර එන්න පහන් තරුව පායන විටවත්....... අපි දන්නවා පහන් තරුව පායන්නේ පාන්දර; ඒකෙන් කියන්නේ පාන්දර වෙලා හරි ඔයා ගෙදර එන්න. කොයි මොහොතක හරි ගෙදර එනකල් මඟ බලාගෙන ඉන්න ප්‍රිය බිරිඳකගේ රූපය අපේ රසික සිත්වල අඳිනවා . ඔබ ගෙදර එන්න පහන් තරුව පායන විට.... කම් නැත මගේ හිමි සඳුනේ දෑස දුහු වෙලා තිබුණට....... දෑස් බොර වෙලා මධු විතින් මත්වෙලා, නිදි මරලා, වෙනත් සියලු සතුටු චර්යාවන්වල නිරත වෙලා තමයි සැමියා එන්නේ. මුව තැවරුණු දුම සුවඳයි නිදිබර සුස්මෙන් සුස්මට..... හුස්මක් හුස්මක් ගානේ එන්නේ දුම් සුවඳ. සිගරට්වල සුවඳ. මත්පැන්වල සුවඳ වහනය වෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඊළඟට කියනවා මේ ගීතයේ දී,
කම්පා නැත නියවත් සුණු ඔබ මුව තැවරී තිබුණට
නානඳුනනා කෙස් දෑලක් සළු පිළි අතරේ තිබුණට
ආ ගිය තැන් නාසන්නෙමි සංකා නොමගන්න
ඉතා අපූරු දෙයක් කියනවා මේ පද පේළියෙන්. සමහර වෙලාවට මේ පෙම්වතාගේ ශරීරයේ වෙනත් ළඳකගේ වත්සුණු තැවරිලා තියෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් නාඳුනනා කෙහෙ රැල්ලක් පෙම්වතාගේ සළුපිළි අතර තියෙන්න පුළුවන්. ඒ වුණාට මම ඔයාගෙන් අහන්නේ නැහැ කොහෙද ඔයා ගියේ කියලා. ආ ගිය තැන් මම අහන්නේ නැහැ. සංකා ගන්න එපා. ඊළඟට කියනවා මේ සැමියා එනකල් බලාගෙන ඉන්න බිරිඳ වතුර උණු කරගෙන, සියලුම ආහාර බෙදාගෙන ඉන්නවා කියලා. එතනදි කියනවා රචකයා මට නිදිමත නැත හිමියනි ඔබට බත බෙදන්න කියලා.
තෝන්තුවා වෙන්න එපා ගතම මැලවිලා තිබුණට
උණු දිය සනහා පිස දා හිස පීරමි නිදියන විට තවුසෙකු සේ සැතපෙනු
දැක මට හැක හිනැහෙන්න
තමන්ගේ සැමියව ගෙදරට ආවට පස්සේ මේ බිරිඳ පිළිගන්න සූදානම් වෙන ආකාරය හරී අපූරුවට රසිකයා තුළ මවලා තියෙනවා. උණු වතුරෙන් මං ඔයාව නාවලා පිසදාලා තවුසෙකු සේ නිදාගෙන ඉන්න හැටි දැකලා මට හිනාවෙන්න පුළුවන් කියලා කියනවා. මං හිතනවා මේක එක්තරා ආකාරයක උත්ප්‍රාසයක් වෙන්න පුළුවන් කියලා .. මොකද සමාජයේ මේ වගේ බිරින්ඳෑවරු දකින්නට නොලැබෙන නිසා. එක්තරා විදියකට මේ ගීතේ ඇතුළේ අපට මුණගස්වන බිරිඳ බෙහෝ විට අප සමාජයේ දකින්න නොලැබෙන, නමුත් බොහෝ පිරිමි බලාපොරොත්තු වෙන බිරිඳක් කියලා කියන්න පුළුවන්.
මෙහෙම බිරින්දෑවරු ඉන්න කොට මතක් වෙනවා අපේ ධර්මසේන හාමුදුරුවන්ගේ සද්ධර්මරත්නාවලියේ කුණ්ඩලකේශීගේ කතා වස්තුව. මේ කතා වස්තුවේ දී කුණ්ඩලකේශි ආදරය කරන්නේ මරන්න ගෙනියන සොරෙකුටයි. මේ මරන්න ගෙනියන සොරාව ලබාගන්න කුණ්ඩලකේශි නොකා නොබී කොහොම හරි තමන්ගේ අරමුණ උපක්‍රමශීලීව ඉටු කරගන්නවා. කුණ්ඩලකේශි මේ සොරාව ලබා ගෙන ඊට පස්සේ හැසිරෙන ආකාරයත් හැඟීම්බරයි. ධර්මසේන හාමුදුරුවෝ සද්ධර්මරත්නාවලියේ දී මෙහෙම කියනවා;
එතෙක් පටන් ඈ සව් බරණ ලා සැරහී තුමූම ඕතොමෝ හට බත් මාළු පිසති; කවති; පොවති; ඉස සෝදති; නාවති.
නමුත් මේ තරම් ආදරයෙන් සත්තුක කියන සොරාට කුණ්ඩලකේශි සැළකුවත් සොරාට කුණ්ඩලකේශි ගැන ආදරයක් නැහැ. කාන්තාවකගේ ආදරය පල් හොරෙකුට වගේම හොඳ මිනිහෙකුට ලැබෙන්න පුළුවන් හැටි අපිට දැන් පෙනෙනවා. අපිට මේකෙන් පෙනෙනවා බිරිඳකගේ ආදරය කොතරම් නිකළැල් වුණත්, ස්වාමි පුරුෂයාට ඒක හිසරදයක් වෙනවා. දැන් මෙච්චර සත්තුක හොරාට ආදරය කරන කුණ්ඩලකේශීගේ ආදරය ලොකු හිරගෙයක් වෙනවා. මොකද ඔහුට ඕනේ කරන්නේ කුණ්ඩලකේශීව මරලා කුණ්ඩලකේශීගේ ආභරණත් අරගෙන පලායන්න. ඒ නිසා සත්තුක කුණ්ඩලකේශීව මරන්න ලැහැස්ති වෙනවා. මේක ඉතාම කුරිරු අදහසක්. තමන්ව මරණයෙන් මුදවා ගත්තු කෙනාවම මරන්න සත්තුකට ඕනේ වෙනවා. දැන් මෙහෙම යද්දි එක දවසක් සත්තුක සොරා ඇඳට වෙලා නොකා නොබී ඇඳට වෙලා බොරුවට කණගාටුවෙන් වගේ ඉද්දි කුණ්ඩලකේශී අහනවා ඇයි මෙහෙම ඉන්නේ කියලා. එතකොට කුණ්ඩලකේශී අහන පැනයට , සත්තුක සොරා උත්තර දෙනවා. මම චෝර පබ්බතයේ ජීවත් වෙන දෙවියන්ට බාරයක් වුණා මාව මරන්න යනකොට මාව බේරගන්න කියලා. මට මගේ ජීවිතේ වගේම ඔබවත් ලැබුණා. ඒ හින්දා ඒ බාරේ පිදේනීය පූජා කරන්න අවශ්‍යයි කියලා කියනවා. මේක අහන ආදරණීය කුණ්ඩලකේශී ඒකට කැමති වෙලා, ඒ පිදේනීය පූජා කරන්න චෝර පබ්බතයට යනවා. ඒ හින්දා කුණ්ඩලකේශී , සත්තුකට තියෙන ආදරය හින්දා ලස්සනට සළුපිළි ඇඳලා සූදානම් වුණාට පස්සේ දෙන්නම චෝර පබ්බතයට යනවා.
ඊට පස්සේ දෙන්නම චෝර පබ්බතයට දෙන්නම ගියාට පස්සේ, සත්තුක කුණ්ඩලකේශීට කියනවා මම මෙතනට ආවේ පිදේනියක් පූජා කරන්න නෙමෙයි, උඹව මරන්නයි කියලා. එතකොට කුණ්ඩලකේශී කල්පනා කරලා කියනවා මෙතරම් ඔබට ආදරය කරන මාව ඇයි මරන්නේ කියලා. ඇය තමන්ගේ සැමියට කියනවා, මගේ ආභරණත් අරගෙන, මගෙන් වැඩකාරකම් කරගන්න ඒත් මාව මරන්න එපා කියලා. ඒත් සොරා කියනවා උඹව මැරුවේ නැතිනම් උඹ ගිහිල්ලා මං ගැන මිනිස්සුන්ට කියයි; ඊට පස්සේ ඒගොල්ලෝ මාව මරයි කියලා.
දැන් කුණ්ඩලකේශී තේරුම් ගන්නවා මේ මිනිහා කොයිතරම් කුරිරු කැත, දුෂ්ට මිනිහෙක් මිනිහෙක් ද කියලා. මෙන්න මෙතන දී කුණ්ඩලකේශී උපක්‍රමශීලී වෙනවා. ප්‍රේමය වෙනුවෙන් දිවි පිදීමට වඩා උපක්‍රමශීලීව තමන්ගේ දිවිය ආරක්ෂා කරගන්න උපායක් කල්පනා කරනවා. ඒ මේ මිනිහා තුළ තියෙන නොමිනිස් ගුණ නිසයි. බෞද්ධ සාහිත්‍යයේ අපිට හමුවෙන බුද්ධිමත්ම කාන්තාවක් වෙමින් ඈ තමන්ගේ දිවිය බේරා ගන්න උත්සහ කරනවා. ඊට පස්සේ ඈ සොරාට කියනවා මම මැරෙනවා කමක් නැහැ මම දුක් වෙන්නේ නැහැ ඒත් මට මගේ අවසාන ඉල්ලීම ඉටුකරගන්න ඕනේ කියලා කියනවා. ඒ තමයි ඔබට වඳින්න තියෙන බලාපොරොත්තුව. සත්තුක ඊට පස්සේ ඒ ඉල්ලීමට කැමති වෙනවා. ඊට පස්සේ කුණ්ඩලකේශී, සත්තුකට ඉදිරියෙන්, පිටුපසින්, පැත්තෙන් සිට වැඳලා, අවසානයේ පිටුපස ඉඳලා වඳින්න සූදානම් වෙන නිමේෂයේ දී සොරාව චෝර පබ්බතයෙන් පහළට තල්ලු කරනවා. මේ කුණ්ඩලකේශී තමන්ගේ සැමියට ගොඩක් ආදරය කළා. ඉතාම හොඳින් තමන්ගේ සැමියට ආදරය කළ ප්‍රේයනීය යුවතියක් කුණ්ඩලකේශී කියන්නේ.
මේ බිරින්ඳෑවරු ගැන කතා කර කර ඉද්දි අපිට හමුවෙනවා මේ කුණ්ඩලකේශී කතාව අරගෙන, කුණ්ඩලකේශී නමින් කවියක් නිර්මාණය කරපු රුවන් බන්දුජීව කියන නූතන කවියා. එතන දී මේ කුණ්ඩලකේශී කතා පුවත සද්ධර්මරත්නාවලියෙන් ඔසවා අරගෙන නූතන අත්දැකීමක් ඉදිරිපත් කරනවා. තමන්ගේ සැමියගේ තියෙන දුෂ්ටබව සියල්ල ඉවසාගෙන හිටපු බිරිඳක් අවසාන මොහොතේ දී ගන්න තීරණයක් මේ පද්‍ය පන්තියට වස්තු විෂය වෙනවා. ගොඩක් වෙලාවට මේ පද්‍ය පන්තිය කුණ්ඩලකේශී කතා වස්තුවට සමාන වෙනවා. බන්දුජීව කවියා කියනවා,
කෙස්ස උස් කරන් බැඳගෙන රෙද්ද තද කරන් ඇඳගෙන
රතු බුනීල මල් පෙති බිම අතුරපු දේවී
සත්තුක නිදි ඇඳ වටේට තුන් වටයක් පැදකුණු කර මන්න පාර හතක් දීපූ කුණ්ඩලකේශී
දැන් අපිට මේ ගෙන එන්නේ වෙනස් කුණ්ඩලකේශී චරිතයක්. මේ කුණ්ඩලකේශී තමන්ගේ සැමියා මරලා තියෙන්නේ කෙස්ස උස් කරන් බැඳගෙන, රෙද්ද තද කරන් ඇඳගෙන රතු බුනීල මල්පෙති බිම අතුරපු දේවී.... මේ රතු බුනීල මල් පෙතිවලින් කවියා සංකේතවත් කරන්නේ රුධිරය යි. ලේ හැම තැනම විසිවෙන්න මන්න පාරෙන් කොටලා තමන්ගේ සැමියව මරනවා. දැන් මෙතන දී නූතන සත්තුක ඇඳේ නිදයන් ඉද්දියි බිරිඳ සැමියව ඝාතනය කරන්නේ. ඇයි ඒ ?
මාල කඩනවා සත්තුක කංසා බෙදනවා සත්තුක
රාජ පුරුෂයන් නිතරම පැලට පනීවී
බතක් මාළුවක් බැඳගෙන පියාඹාගෙනගිහින් වැලිකඩ
කසෙන් තැලුම් කා සත්තුක සනසපු දේවී
මෙහිදි කවියා මේ සැමියගේ තියෙන දුරාචාරකම් සියල්ල මතක් කරනවා. මාල කඩන හොරෙක්, කංසා බෙදන හොරෙක්, අපචාර කරන මිනිහෙක්, ඒ හින්දම හැම තිස්සෙම ගෙදරට පොලීසියෙන් පනිනවා. බන්ධනාගාර ගතවෙලා ඉන්න තමන්ගේ සැමියව බලන්න යන යහපත් බිරිඳකගේ රූපය අපිට මවා පෙන්වනවා. මේ බිරිඳ සැමියෙකුට දක්වන අසීමීත සෙනෙහස අපිට එයින් මනාව රූපණය වෙනවා. කොතරම් නරක මිනිහෙක් වුණත් තමන්ගේ සැමියට ආදරය කරන්න මේ බිරිඳ පසුබට වෙන්නේ නැහැ.
සූදූ කෙළිනවා සත්තුක මඩමේ ළඟිනවා සත්තුක
මොනවා කළත් මේ වෙනකම් ඉවසපු දේවී
එපා තාත්තේ කිය කිය දූ හීනෙන් හඬන හඬින්
තිගැස්සිලා නිදි පැදුරෙන් විසි වුණු දේවී
දැන් මෙතන දි අපිට කවියා පෙන්වලා දෙන්නේ සූදූ කෙළින, මඩමේ ළඟින මේ හැම දේම ඉවසගෙන හිටපු බිරිඳ එක්තරා සිද්ධියක් උහුලන්නේ නැහැ. ඒ තමයි එපා තාත්තේ කිය කිය දූ හීනෙන් හඬන හඬින් තිගැස්සිලා නිදි පැදුරෙන් විසිවුණු දේවී.... එපා තාත්තේ කිය කිය දූ හීනෙන් හැඬීමෙන් අපිට සිතන්න යමක් ඉතිරි කරනවා. මේ සැමියා තමන්ගේ දුවට අතවර කරන්න හදනවා. කොයිතරම් ආදරයෙන් අනිත් හැම වරදක්ම ඉවසුවත්, ඉවසන්න බැරි වරදක් එනවා. අන්න ඒ මොහොතෙ දී බිරිඳ කුණ්ඩලකේශීව අනුගමනය කරනවා. තමන්ගේ සැමියගේ සියලු වැරදි ඉවසපු බිරිඳ අවසාන මොහොතෙ දී මන්න පාර හතක් දීලා තමන්ගේ සැමියව මරනවා.
මම හිතන්නේ හැම බිරිඳක් තුළම කුණ්ඩලකේශී කෙනෙක් ජීවත් වෙනවා. තමන්ගේ සැමියට කුණ්ඩලකේශී වගේ ආදරය කරන බිරිඳක් ජීවත් වෙනවා. හැම බිරිඳක් තුළම හැඟීම්බර ගැහැණියක් ජීවත් වෙනවා. ඉතින් ඒ ආදරණීය හැඟීම්බර ගැහැණියව තේරුම් ගන්න අප සමාජය උත්සහ කරන්න ඕනේ කියලා මට හිතෙනවා.
මේ විදියට අපිට බිරිඳ ගැන ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. ඒත් අපිට අදට ලැබෙන කාලය මෙතනින් ඉවරයි. කතා කළ යුතු දේවල් ගොඩාක් තියෙනවා. ඒත් මම හිතනවා මේ රසවින්දනයෙන් ඔබට ලැබුණු දැනුම ඔබගේ දිවියට නව අරුතක් එක් කරයි කියලා. ඒ විදියටම අපි ලබන කලාපයේ දී අම්මා ගැන කතා කරන්න බලපොරොත්තුවෙන් අදට සමුගන්නවා.
No comments:
Post a Comment