කලාවේ මුලාව
අතරින් කලාවට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. ඒ මන්දයත් මිනිස් මනස සුවපත් කිරිමට , මනසට විශ්රාන්තිය ගෙන ඒමට කලාව සමත් වන හෙයිනි. රූපය, සංගීතය, සිතුවම, රූපනය ආදි විවිධ කලා මාධ්‍යන් මගින් සිදු වන්නේ වෙහෙසකර වු මනසට සහනය , විවේකය ගෙන දීමකි. එමනිසා අන් කවර මානව නිර්මාණයකටත් වඩා කලාව, පුද්ගල මනසට කරනු ලබන බලපෑම සුවිශාලය. යහපත් පුද්ගල චරිතයක් බිහි කිරිමට මෙන්ම යහපත් පුද්ගල චරිතයක් නිශේධනිය තත්ත්වයන් කරා රැගෙන යාමට ද කලාවට ඇත්තේ නිසඟ හැකියාවකි.
නූතන ජන මාධ්‍ය සංදර්භය තුළ කලාවට හිමි වන්නේ ප්රමුඛ ස්ථානයකි. තොරතුරු සම්පාදනය, පෙළඹවීම හා අධ්‍යාපනය අරමුණු කොට ගත් ජන මාධ්‍ය අරමුණු අතර විනෝදාස්වාද සම්පාදන කාර්යයට මුලික ස්ථානයක් හිමි වේ. ජන මාධ්‍ය රාමුව තුළ දි ජන මාධ්‍යයේ වඟකීම විය යුත්තේ ග්රාහකයා වෙත උසස් මට්ටමේ වැඩසටහන් ගෙන ඒමයි. ජන මාධ්‍යයේ වැඩසටහන් ආකෘතිය සකස් විය යුත්තේ ප්‍රේක්ෂකයා හට වැඩදායි සහ ආදර්ශවත් අන්තර්තයන්ගෙන් ය. මෙවැනි අරමුණු ලිඛිත මාධ්‍යට පමණක් සීමා වී යල් පැන ගිය කරුණු බවට පත් වී හමාරය. වර්තමාන ජන මාධ්‍ය වැඩසටහන් ආකෘති බොහෝමයකට පාදක වන්නේ ආර්ථිකමය කරුණුය. එමනිසා වර්තමාන ජන මාධ්‍ය වැඩසටහන් ආකෘතිය තුළින් සාධනීය තත්ත්වයන් මෙන්ම නිශේධනීය තත්ත්වයන් ද ප්‍රේක්ෂකයා හට ගෙන එනු ලබයි.
ඒ කෙසේ වෙතත් ප්‍රේක්ෂකයා මුලා නොවි සැබෑ තත්ත්වයන් අවබෝධ කර ගැනීම වඩාත් සුදුසු වෙයි. එමනිසා අතීතයේ පැවති කලාව වර්තමාන ජන මාධ්‍යකරුවා මුලාවක් කොට ප්‍රේක්ෂකයා වෙත ගෙන එන්නේ හුදෙක්ම ප්‍රේක්ෂක රසාස්වාදය උදෙසාම පමණක් නොව ආර්ථිකමය ලාභ ප්‍රයෝජන ද මුල් කරගෙනය. මෙසේ කලාව හා ජන මාධ්‍ය අතර වන සම්බන්ධය ගැන විමසා බලන විට නිසගයෙන්ම අප මුවගට නැගෙන වචනයක් වන්නේ රියැලිටි වැඩසටහන් ය. සංගීතය නැමැති විශ්වීය භාෂාවේ සීඝ්‍ර පරිවර්තනයක් මෙන්ම ජන මාධ්‍ය හා බැඳි කලාවේ නව මානයක් සේ දැක්විය හැකි රියැලිටි කලාව යුරෝපාකරයෙන් ආසියාකරයට හිමි වන කලාත්මක නොවු ආර්ථිකමය උපාය මාර්ගයකි. නමුත් අද වන විට දේශීය වැඩසටහන් රාමුවකට සරිලන සේ නිර්මාණය වී ඇති රියැලිටි වැඩසටහන් ආකෘතිය තුළින් තරු සංකල්පයක් සමාජගත කරනු ලබන්නේ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින්ය. ගායන, නර්තන, රූපන ආදි විවිධ වු ක්ෂේත්රයන් කෙරෙහි ව්‍යාප්තව ඇති රියැලිටිකරණය ප්‍රමිතිගත ස්වරූපයකින් ඉදිරිපත් වන්නේ නම් අප කලාව ලෙස ව්‍යවහාර කරනු ලබන සමස්ථයේ දියුණුවට එය මහත් පිටුවහලක් වනු ඇත. ශිල්පීය දක්ෂතාවයට මුල් තැන දෙමින් , ශිල්පියා හුවා දක්වන පෙර කල පැවති යහ කලාවක ආගමනය වර්තමානයට අවශ්‍යව පවති. ලංකාවේ විශිෂ්ට ගණයෙහි ලා සැලකෙන කලාකරුවන් සිටින මෙවන් කලා කෙතකට අවශ්‍ය වන්නේ තවත් අම්බරුවන් නොව කෙත අස්වැද්දිය හැකි ගොවීන්ය. කෙටි පණිවිඩයෙන් ජනප්‍රියතාව ලබා ගන්නා තරු එක රැයෙහි පායා කඩා හැලෙන වල්ගා තරුවක් බවට පත් වන්නේ මෙම රියැලිටිකරණයේ ආදීන පෙන්වමිනි. කලාවෙහි අභිවෘද්ධිය තකා ක්‍රියා කරන කලාකරුවන්ගේ අවධානය මෙම ගැටළුව අරඹයා යොමු වන්නේ නම් ඉහතින් දැක් වු කලාව මීට වඩා යහපත් තත්ත්වයකට පත් කිරිමට රටක් ලෙස අපට හැකි වනු ඇත. එමනිසා ප්‍රේක්ෂකයා හට උසස් රසවින්දනයක් ගෙන දීමට යහ පාලන රජයක් පවතින මෙවන් කාල වකවානුවක , එම යහ පාලනයේ යහපත් භාවය කලාවට ද හිමිවන්නේ නම් එය දේශපාලනයට වඩා දිගු කල් පවතින යහතින් පවතින ක්‍රියාදාමයක් බවට පත්වන්නේ ය. රියැලිටිකරණය පමණක් නොව මෙගා ටෙලිනාට්‍ය රැල්ලේ ද පවතින්නේ ලාංකීය ටෙලිනාට්‍ය කලාවට කණ කොකා හඬන පෙර නිමිතිය. වෙන්දේසි පොළවල් වලින් ලබා ගන්නා ටෙලිනාට්‍ය දේශීය භාෂාවට හඬ කවා විකාශනය කිරිම මගින් ආර්ථිකමය ප්රතිලාභ පාලන තන්ත්රයට හිමි වූවත් මෙමගින් නව නිර්මාණකරුවන්ට , පර්යේෂකයින්ට නිර්මාණකරණයෙහිලා ඇති ඉඩ කඩ සීමා වනු ඇත. එමනිසා කලාව ආගාධයට ගමන් කරමින් පවත්නා මෙවන් යුගයක කලාව මගින් ප්‍රේක්ෂකයා මුලා කරන මෙවන් යුගයක අවසානය දැකීමට දැන් කාලය එළැඹ ඇත. යහ පාලන සහ යහ කලාවක පැවැත්ම වර්තමාන ප්‍රේක්ෂකයාට අවශ්‍යව ඇති බව පවසන්නේ කලාව ආර්ථික මෙවලමක් ලෙස යොදා ගනිමින් කලාව මුලා කරන වාණිජ කලාකරුවන්ගේ කලාවට තිත තබන්නට කාලය එළැඹ ඇතැයි යෝජනා කරමිනි.
දමිත් සුමේන්ද්‍ර
No comments:
Post a Comment