ශ්‍රී ලාංකේය අප්‍රිකානු ප්‍රජාව හෙවත් මැන්ජා ප්‍රජාව
සෑම පුද්ගලයෙක් ම සමාජීය සත්ත්වයෙක් වශයෙන් යම්කිසි ප්රජාවකට අයත් වන්නෝය. එසේම එම ප්‍රජාවන් සතු ව ඔවුන්ට ම ආවේණික වූ සංස්කෘතිමය රාමුවක් පවති. එම සංස්කෘතික රාමුව විසින් ඔවුන්ගේ අනන්‍යතාවය පිළිඹිබු කරයි. සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික, හින්දු, බෞද්ධ ආදි වශයෙන් එම ප්‍රජා කණ්ඩායම් පෙන්වා දිය හැකිය. සෑම අවස්ථාවක් තුළ දී ම යම්කිසි පොදු ලක්ෂණයක් හේතුවෙන් පුද්ගලයින් සමූහයක් තුළ සමානතා ලක්ෂණ පෙන්නුම් කරන විට එම පිරිස පොදුවේ ප්‍රජාවක් වශයෙන් අර්ථකථනය කරයි. මෙම ලිපිය තුළින් ශ්‍රී ලංකාවේ ජීවත් වන අප්‍රිකානු සම්භවයක් සහිත ශ්‍රී ලාංකිකයන් පිළිබඳ සාකච්ඡාවට බදුන් කෙරේ.
බටහිර ජාතීන් වන පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි පාලන සමයන්වල දි මෙරට වහල් සේවය සදහා විවිධ වූ රටවල ප්‍රජාවන් මෙරටට ගෙන එන ලදි. එම ප්‍රජාවන් අතර දකුණු ඉන්දීය දමිළ ප්‍රජාව ජනප්‍රිය තලයේ වෙසෙයි. නමුත් පෘතුගීසි පාලන සමයේ දී ශ්‍රී ලංකාවට ගෙන එන ලද අප්‍රිකානු ජනතාව පිළිබඳ ව සමාජය තුළ පවතින්නේ අල්ප දැනුම්වත්භාවයකි. 1505න් පසුව ශ්‍රී ලංකාවට ගෙන එන ලද අප්‍රිකානු ප්‍රජාව විවිධ නගරවල සේවය සදහා යොමු කරන ලදි. එම අප්‍රිකානු ප්‍රජාව වර්තමානයේ දී "Ceylon Affrican Manja" වශයෙන් හදුන්වා දෙයි. මැන්ජා ප්‍රජාව පිළිබඳ ව ශාස්ත්රාලීය අධ්‍යයන සිදු වන නමුත් එය ප්‍රමාණවත් මට්ටමක නොපවතී. මුල් යුගයේ දී බටහිර ජාතීන් විසින් මෙරට සේවයට ගෙන එන ලද අප්‍රිකානු ප්‍රජාව නැවත අප්‍රිකාවට ගෙන යන මුත්, ඇතැම් අප්‍රිකානු පිරිස් මෙරට ජාතීන් සමග විවාහ වී සිටීම හේතුවෙන්, යම් පිරිසක් මෙරට සිය වාසස්ථානය වශයෙන් තෝරා ගන්නා ලදි. එම ප්‍රජාව ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල වර්තමානයේ වාසය කරයි. අගනුවර ප්‍රදේශයවල සහ රට අභ්‍යන්තර ප්‍රදේශවලත්, මීගමුව ප්රදේශයෙත්, පුත්තලමේ සිරම්බිඅඩිය ප්රදේශයෙත් මෙම අප්‍රිකානු ප්‍රජාව වර්තමානයේ හදුනාගත හැකිය. මෙම ලිපිය සදහා දත්ත ලබා ගැනීමට පුත්තලමේ සිරම්බිඅඩිය ප්‍රදේශයේ මැන්ජා ප්‍රජාව සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවක් භාවිත කෙරේ.
පුත්තලම ප්‍රදේශයේ සිරම්බිඅඩිය ගම්මානයක් ලක්ෂණ පෙන්නුම් කරන යම්තාක් භෞතික වශයෙන් ගැටලු උද්ගත වූ ප්රදේශයකි. මෙම ගම්මානය තුළ අප්‍රිකානු සම්භවයක් සහිත මැන්ජා ප්‍රජාව වාසය කරයි. සීමා සහිත පවුල් සංඛ්‍යාවකින් සමන්විත මෙහි පරම්පරාව තුනක් වර්තමානයේ වාසය කරනු ලබයි. ආර්ථික වශයෙන් මෙම ප්‍රජාව ප්‍රදේශයේ කර්මාන්ත ශාලවල සේවය කරනු ලබයි. තවද එහිලා නිවසේ වෙසෙන සියලු ම සාමාජිකයන් සහභාගී වෙයි. ඇතැම් අවස්ථාවවල වයෝවෘද්ධ පිරිස් පමණක් නිවස තුළ සිටියි.
මැන්ජා ප්‍රජාව සිරම්බිඅඩිය ප්‍රදේශයේ ජීවත් වීමේ දී හදුනාගත හැකි සුවිශේෂ ලක්ෂණයක් වන්නේ සෙසු ප්‍රදේශවාසීන්ගෙන් දුරස් වූ බවයි. ඇතැම් අවස්ථාවන්හි දී ඔවුන්ගේ සාකච්ඡාවලින් හෙලිදරව් වන්නේ සමාජමය වශයෙන් ඔවුන්ට අඩු සැළකිල්ලක් හිමිවන ආකාරයයි. මැන්ජා සංස්කෘතිය අනාගත පරම්පරාව වෙත සම්ප්‍රේෂණය කිරීමේ දී පළමු සහ දෙවන පරම්පරාව වැදගත් වේ. නමුත් තුන්වැනි පරම්පරාවේ අයවලුන් විසින් ප්‍රමාණවත් ආකාරයෙන් සංස්කෘතිය පැතිරවීමට කටයුතු කරන ආකාරය හදුනාගත නොහැකිය.
මැන්ජා ප්‍රජාව විසින් ඔවුන්ගේ කණ්ඩායමේ සාමාජිකයන් සමග සමූහ සන්නිවේදන කාර්යයේ නියැළෙයි. ඔවුන් විසින් සමූහයක් වශයෙන් ඔවුන්ගේ සංස්කෘතිය සෙසු ප්‍රජාවන් වෙත ගෙන යාම උදෙසා කුඩා කණ්ඩායම් සන්නිවේදනයේ නියැළෙයි. ප්‍රජාවක් වශයෙන් මැන්ජා ප්‍රජාව තුළ පවතින සන්නිවේදනාත්මක ක්‍රියාවලිය ඔවුන්ගේ සංස්කෘතිය අන් ප්‍රජාවන් වෙත සන්නිවේදනය කිරීමටත්, සංචාරකයන් හට සිය සංස්කෘතික ක්‍රියාකාරකම් ඉදිරිපත් කිරීමටත් භාවිත කරයි.
දමිත් සුමේන්ද්‍ර පෙරේරා
No comments:
Post a Comment