මානව ඉතිහාසයේ අරම්භය දක්වා දිවෙන ක්‍රියාවලියක් වන සන්නිවේදනය තාක්ෂණයේ වර්ධනය සමග කාලානුක්‍රමික ව වර්ධනය වී ඇත. සන්නිවේදන ක්‍රියාවලිය පිළිබඳ ව අධ්‍යයනය කිරීම ද අද වන විට සංකීර්ණත්වයට පත් ව ඇත්තේ තාක්ෂණය සන්නිවේදන ක්‍රියාවලිය උදෙසා සිදු කරන බලපෑම හේතුවෙනි. සන්නිවේදන ක්‍රියාවලිය හා සම්බන්ධ සන්නිවේදන මූලිකාංග ද මුල් යුගයේ ලබා දුන් අර්ථකථනයන්ගෙන් අද වන විට බොහෝ දුරස්ව ඇත. තවද තාක්ෂණය හේතුවෙන් සන්නිවේදන මූලිකාංග පිළිබඳ විග්‍රහයන් ද තාක්ෂණික රාමුවකින් යුක්ත ව විග්‍රහ වීම කැපී පෙනෙන සාධකයකි.
සන්නිවේදන ක්‍රියාවලියේ මූලිකාංග සදහා වර්තමානයේ ලබා දෙන නිර්වචන බහුතරයක් සදහා පාදක වන්නේ තාක්ෂණයයි. මේ නිසා සන්නිවේදන ක්‍රියාවලියේ මූලිකාංගයන්හි අන්තර්ගත මානුෂීය ලක්ෂණ බැහැර වී ඇත.එසේම සන්නිවේදනය හුදෙක් තාක්ෂණය හා සම්බන්ධ ක්‍රියාදාමයක් බවට පත් ව ඇත. නුමුත් සන්නිවේදන ක්‍රියාවලියේ පැවතිය යුතු මානුෂීය ගුණාංග යම්තාක් හෝ දුරකට ආරක්ෂා කර ගැනීමට පෙරදිග පවතින ආගමික ඉගැන්වීම් පාදක කරගත හැක.
ක්‍රිස්තියානි දර්ශනය, බෞද්ධ දර්ශනය, හින්දු දර්ශනය, ඉස්ලාම් දර්ශනය සහ කොන්ෆියුසියස් දර්ශනය ඔස්සේ සන්නිවේදන මූලිකාංග මානුෂීය සහ ආත්මීක රාමුවක් තුළ අර්ථකථනය කිරීමට හැකියාව ඇත. එහිලා ක්‍රිස්තියානි දර්ශනයේ ඉගැන්වීම් මත පදනම් වෙමින් සන්නිවේදන මූලිකාංග අතුරින් සන්නිවේදකයා මූලිකාංගය පෝෂණය කිරීම පිළිබඳ මෙම ලිපියේ දී අවධානය යොමු කෙරේ.
ක්‍රිස්තියානි දර්ශනය උදෙසා මූලාශ්‍රය වශයෙන් ගැනෙන ශුද්ධ වූ බයිබලයේ ග්‍රන්ථ 73න් නව ගිවිසුමට අයත් සුභාරංචි ග්‍රන්ථ හතර තුළ සංගෘහිත වන කන්ද උඩ දේශනාව ආනුසාරයෙන් සන්නිවේදක භූමිකාව තුළ පවතින ආත්මීය ගුණාංග ඉස්මතු කරයි. කන්ද උඩ දේශනාව ජේසුස් වහන්සේගේ විසින් සිය ජනතාව අරඹයා සිදු කරන ලද්දක් වූවත්, සන්නිවේදන විෂයේහිලා එහි විවරණය කිරීමෙන් අන්තර් විෂයාත්මක සම්බන්ධයක් ගොඩනැගිය හැකිය. සුභාරංචි කතුවරයින් වන මතෙව් තුමා සහ ලූක් තුමා විසින් ඔවුන්ගේ ග්‍රන්ථ තුළ දී කන්ද උඩ දේශනාව හෙවත් මංගල වාක්‍ය ඉදිරිපත් කර ඇත. කන්ද උඩ දේශනාව තුළ අන්තර්ගත වාක්‍ය සංඛ්‍යාව 08කි. මෙහිදී ඉදිරිපත් වන ඉගැන්වීම් ආනුසාරයෙන් සන්නිවේදන විෂය පථය පෝෂණය කළ හැකිය. පුද්ගලයා තුළ පැවතිය යුතු ආත්මීය ගුණාංග ඉස්මතු කරයි. කන්ද උඩ දේශනාව පහත පරිදි වේ.
"ජේසුස් වහන්සේ ජනකාය දැක කන්දකට නැගුණු සේක. උන්වහන්සේ වැඩහුන් කල ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත ආහ. එවිට උන් වහන්සේ ඔවුන්ට උගන්වමින් මෙසේ වදාළ සේක. බැගැ සිතින් දෙව් සරණ පතන්නෝ භාග්‍යවන්තයෝ ය, ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේය. ශෝක වන්නෝ භාග්‍යවන්තයෝය, ඔවුහු සැනසීම ලබන්නෝය. නිහතමානී ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝ ය, ඔවුහු දේශය උරුම කරගන්නෝය. යුක්තියට සාපි පාසා ඇත්තෝ භාග්‍යවන්තයෝ ය, ඔවුහු තෘප්තිමත් වන්නෝය. දයාවන්තයෝ භාග්‍යවන්තයෝ ය, ඔවුහු දයාව ලබන්නෝය, නිර්මල සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝය, ඔවුහු දෙවියන් වහන්සේ දකින්නෝය. සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝ ය, ඔවුහු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ යැයි කියනු ලබන්නෝය. යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය, ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේය. මිනිසුන් මා උදෙසා ඔබට නින්දා පීඩා කොට නානා විධ අයුතු චෝදනා නගන කල ඔබ භාග්‍යවන්තයෝ ය, ප්‍රීති ප්‍රමෝද වන්න. මන්ද ස්වර්ගයෙහි ඔබේ පලවිපාක ඉමහත්ය. ඔබට පෙර සිටි දිවැසිවරයන්ටත් ඔවුහු එලෙසම පීඩා කළහ." (මතෙව් 5:1-12), (ලූක් 6:20-23)
කන්ද උඩ දේශනාව විශ්ලේෂණය කරන විට සන්නිවේදක භූමිකාව තුළ පැවතිය යුතු ආත්මීය ගුණාංග 08ක් පිළිබඳ ව හදුනාගත හැකිය.
1. සන්නිවේදකයා බැහැපත් විය යුතු බව
2. සන්නිවේදකයා සංවේදී විය යුතු බව
3. සන්නිවේදකයා නිහතමානී විය යුතු බව
4. සන්නිවේදකයා යුක්ති ගරුක විය යුතු බව
5. සන්නිවේදකයා දයාවන්ත විය යුතු බව
6. සන්නිවේදකයා නිර්මල සිත් ඇත්තෙකු බව
7. සන්නිවේදකයා සාමය ඇති කරන්නෙක් බව
8. සන්නිවේදකයා යුක්තිය වෙනුවෙන් පීඩා විදින බව
ඉහත ලක්ෂණ අනුව නූතන ජනසන්නිවේදනයේ සහ නව මාධ්‍ය තුළ පවතින සන්නිවේදක භූමිකාව ආත්මීය ආකාරයෙන් සකස් විය යුතු ආකාරය සම්බන්ධයෙන් ක්‍රිස්තියානි දර්ශනයෙන් පූර්වාදර්ශ ලබාගත හැකි ආකාරය පෙනේ.
දමිත් සුමේන්ද්‍ර පෙරේරා
No comments:
Post a Comment