Friday, 15 November 2024

කවුද මේ Social Media Influencers කියන්නේ?

 කවුද මේ Social Media Influencer කියන්නේ?


🏷️සමාජයේ ජීවත් වන පුද්ගලයන්ගේ මතවාද සකස් කිරීමට දායක වන පිරිස් ජනමත නායකයින් හෙවත් Public Opinion Leaders වශයෙන් හදුන්වා දීම සිදු කළ හැකියි. ආගමික නායකයින්, දේශපාලකයින්, සමාජ ක්‍රියාකාරී පිරිස් ආදීන් එම භූමිකාව තුළ දී හදුනා ගත හැකිය. ඔවුන් විසින් සාමාන්‍ය සන්නිවේදන ක්‍රියාවලියේ දී මෙන් ම ජනමාධ්‍ය සහ නව මාධ්‍ය ආදී වූ සන්නිවේදන මාධ්‍ය මගින් ජනමත සකස් කිරීමට කටයුතු කරයි. එබැවින් ජනමතය සකස් කිරීමට මොවුන් බලපෑම් සිදු කරන බැවින්, බලපෑම් කරන්නන් වශයෙන් ද මෙම පිරිස් හදුන්වා දිය හැකිය.

කාර්මික විප්ලවය සමග ගොඩනැගෙන ජන මාධ්‍ය භාවිත කරමින් ජනමත ප්‍රධානීන් විසින් පුද්ගලයාගේ මතය නිර්මාණය කිරීමට කටයුතු කරන ලදි. නමුත් අන්තර්ජාල මාධ්‍යයේ ආගමනය සමග ගොඩනැගෙන තවත් ජනමත ප්‍රධානීන් වර්ගයක් වශයෙන් Social Media Influencer හදුන්වා දීම සිදු කළ හැකිය. මොවුන් සමාජ මාධ්‍ය වේදිකා මගින් පුද්ගලයා වෙත බලපෑම් කිරීම සිදු කරයි. 

ජනමත ප්‍රධානීන් විසින් පුද්ගලයාගේ දේශපාලනික, ආර්ථික, සමාජීය, ආගමික ආදී විවිධ අංශයන් සම්බන්ධයෙන් පවතින මතවාදයන් සකස් කරයි. උදාහරණයක් වශයෙන් ආගමික නායකයින් විසින් ආගමික කටයුතු තුළ දී සිය ආගමික ප්‍රජාව තුළ පවතින මතවාදය සකස් කිරීමට කටයුතු කරයි. එකී සන්දර්භය මත හිදිමින් සමාජ මාධ්‍ය වේදිකා තුළ හමුවන බලපෑම් කරන්නන් හෙවත් Social Media Influencers පිළිබඳ ව මෙම කෙටි ලිපියේ දී අවධානය යොමු කෙරේ.

නව මාධ්‍ය ප්‍රභේදයක් වශයෙන් සැලකෙන සමාජ මාධ්‍ය යනු, ගිණුමක් නිර්මාණය කිරීමෙන් අනතුරුව එම ජාලයට අදාළ පරිශීලකයන් සමග සන්නිවේදනය තුළින් ගොඩනැගෙන ජාලයයි. ශ්‍රී ලංකාවේ ඉහළ භාවිතයක් පවතින සමාජ මාධ්‍ය වේදිකා (Social Media Platforms) වශයෙන් මුහුණ පොත (Face Book), වට්සැප් (Whatsapp) සහ යූ ටියුබ් (You Tube) පවතින බව සංසංඛ්‍යාලේඛන වාර්තා පෙන්වා දෙයි. (TRCSL Report) මෙම සමාජ මාධ්‍ය වේදිකා මත ක්‍රියාත්මක වෙමින් විවිධ පුද්ගලයින් විසින් විවිධ අන්තර්ගත නිර්මාණය කරමින් සිය ජනප්‍රියතාව වර්ධනය කරගෙන සිටියි. එහි පවතින සුවිශේෂීත්වය වන්නේ එම පුද්ගලයාගේ අන්තර්ගත ලබා ගැනීම සදහා විශාල ග්‍රාහක පිරිසක් මිතුරන් වශයෙන් ඔහුගේ හෝ ඇයගේ ගිණුම තුළ සිටීමයි. අද වන විට මුහුණු පොත සහ යූ ටියුබ් වැනි සමාජ මාධ්‍ය වේදිකා ආශ්‍රිත ව මෙවැනි Social Media Influencers බහුල ව හදුනාගත හැකිය. මොවුන් සමාජ මාධ්‍ය තුළ හිමිකරගෙන සිටින ඉහළ ජනප්‍රියතාව හේතුවෙන් මොවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා විවිධ සන්නාම අලෙවිකරණ කර්යේ නියැලෙයි. එසේම විවිධ සමාජමය අවස්ථාවන්හි දී සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා සිය මතවාදය ඉදිරිපත් කරමින් විවිධ අන්තර්ගත ඉදිරිපත් කිරීමට මොවුන් කටයුතු කරයි. එමනිසා යම් ආකාරයකට ජනමත සැකසීමේ කර්යේ මොවුන් නියැළෙයි.

🖋️ දමිත් සුමේන්ද්‍ර පෙරේරා  

Thursday, 14 November 2024

සන්නිවේදකයා පිළිබඳ කතෝලික දර්ශනය

 



සන්නිවේදකයා පිළිබඳ කතෝලික දර්ශනය


මානව ඉතිහාසයේ අරම්භය දක්වා දිවෙන ක්‍රියාවලියක් වන සන්නිවේදනය තාක්ෂණයේ වර්ධනය සමග කාලානුක්‍රමික ව වර්ධනය වී ඇත. සන්නිවේදන ක්‍රියාවලිය පිළිබඳ ව අධ්‍යයනය කිරීම ද අද වන විට සංකීර්ණත්වයට පත් ව ඇත්තේ තාක්ෂණය සන්නිවේදන ක්‍රියාවලිය උදෙසා සිදු කරන බලපෑම හේතුවෙනි. සන්නිවේදන ක්‍රියාවලිය හා සම්බන්ධ සන්නිවේදන මූලිකාංග ද මුල් යුගයේ ලබා දුන් අර්ථකථනයන්ගෙන් අද වන විට බොහෝ දුරස්ව ඇත. තවද තාක්ෂණය හේතුවෙන් සන්නිවේදන මූලිකාංග පිළිබඳ විග්‍රහයන් ද තාක්ෂණික රාමුවකින් යුක්ත ව විග්‍රහ වීම කැපී පෙනෙන සාධකයකි.


සන්නිවේදන ක්‍රියාවලියේ මූලිකාංග සදහා වර්තමානයේ ලබා දෙන නිර්වචන බහුතරයක් සදහා පාදක වන්නේ තාක්ෂණයයි. මේ නිසා සන්නිවේදන ක්‍රියාවලියේ මූලිකාංගයන්හි අන්තර්ගත මානුෂීය ලක්ෂණ බැහැර වී ඇත.එසේම සන්නිවේදනය හුදෙක් තාක්ෂණය හා සම්බන්ධ ක්‍රියාදාමයක් බවට පත් ව ඇත. නුමුත් සන්නිවේදන ක්‍රියාවලියේ පැවතිය යුතු මානුෂීය ගුණාංග යම්තාක් හෝ දුරකට ආරක්ෂා කර ගැනීමට පෙරදිග පවතින ආගමික ඉගැන්වීම් පාදක කරගත හැක.


ක්‍රිස්තියානි දර්ශනය, බෞද්ධ දර්ශනය, හින්දු දර්ශනය, ඉස්ලාම් දර්ශනය සහ කොන්ෆියුසියස් දර්ශනය ඔස්සේ සන්නිවේදන මූලිකාංග මානුෂීය සහ ආත්මීක රාමුවක් තුළ අර්ථකථනය කිරීමට හැකියාව ඇත. එහිලා ක්‍රිස්තියානි දර්ශනයේ ඉගැන්වීම් මත පදනම් වෙමින් සන්නිවේදන මූලිකාංග අතුරින් සන්නිවේදකයා මූලිකාංගය පෝෂණය කිරීම පිළිබඳ මෙම ලිපියේ දී අවධානය යොමු කෙරේ.


ක්‍රිස්තියානි දර්ශනය උදෙසා මූලාශ්‍රය වශයෙන් ගැනෙන ශුද්ධ වූ බයිබලයේ ග්‍රන්ථ 73න් නව ගිවිසුමට අයත් සුභාරංචි ග්‍රන්ථ හතර තුළ සංගෘහිත වන කන්ද උඩ දේශනාව ආනුසාරයෙන් සන්නිවේදක භූමිකාව තුළ පවතින ආත්මීය ගුණාංග ඉස්මතු කරයි. කන්ද උඩ දේශනාව ජේසුස් වහන්සේගේ විසින් සිය ජනතාව අරඹයා සිදු කරන ලද්දක් වූවත්, සන්නිවේදන විෂයේහිලා එහි විවරණය කිරීමෙන් අන්තර් විෂයාත්මක සම්බන්ධයක් ගොඩනැගිය හැකිය. සුභාරංචි කතුවරයින් වන මතෙව් තුමා සහ ලූක් තුමා විසින් ඔවුන්ගේ ග්‍රන්ථ තුළ දී කන්ද උඩ දේශනාව හෙවත් මංගල  වාක්‍ය ඉදිරිපත් කර ඇත. කන්ද උඩ දේශනාව තුළ අන්තර්ගත වාක්‍ය සංඛ්‍යාව 08කි. මෙහිදී ඉදිරිපත් වන ඉගැන්වීම් ආනුසාරයෙන් සන්නිවේදන විෂය පථය පෝෂණය කළ හැකිය. පුද්ගලයා තුළ පැවතිය යුතු ආත්මීය ගුණාංග ඉස්මතු කරයි. කන්ද උඩ දේශනාව පහත පරිදි වේ.


"ජේසුස් වහන්සේ ජනකාය දැක කන්දකට නැගුණු සේක. උන්වහන්සේ වැඩහුන් කල ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත ආහ. එවිට උන් වහන්සේ ඔවුන්ට උගන්වමින් මෙසේ වදාළ සේක. බැගැ සිතින් දෙව් සරණ පතන්නෝ භාග්‍යවන්තයෝ ය, ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේය. ශෝක වන්නෝ භාග්‍යවන්තයෝය, ඔවුහු සැනසීම ලබන්නෝය. නිහතමානී ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝ ය, ඔවුහු දේශය උරුම කරගන්නෝය. යුක්තියට සාපි පාසා ඇත්තෝ භාග්‍යවන්තයෝ ය, ඔවුහු තෘප්තිමත් වන්නෝය. දයාවන්තයෝ භාග්‍යවන්තයෝ ය, ඔවුහු දයාව ලබන්නෝය, නිර්මල සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝය, ඔවුහු දෙවියන් වහන්සේ දකින්නෝය. සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝ ය, ඔවුහු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ යැයි කියනු ලබන්නෝය. යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය, ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේය. මිනිසුන් මා උදෙසා ඔබට නින්දා පීඩා කොට නානා විධ අයුතු චෝදනා නගන කල ඔබ භාග්‍යවන්තයෝ ය, ප්‍රීති ප්‍රමෝද වන්න. මන්ද ස්වර්ගයෙහි ඔබේ පලවිපාක ඉමහත්ය. ඔබට පෙර සිටි දිවැසිවරයන්ටත් ඔවුහු එලෙසම පීඩා කළහ." (මතෙව් 5:1-12),  (ලූක් 6:20-23)


කන්ද උඩ දේශනාව විශ්ලේෂණය කරන විට සන්නිවේදක භූමිකාව තුළ පැවතිය යුතු ආත්මීය ගුණාංග 08ක්  පිළිබඳ ව හදුනාගත හැකිය.


1. සන්නිවේදකයා බැහැපත් විය යුතු බව

2. සන්නිවේදකයා සංවේදී විය  යුතු බව 

3. සන්නිවේදකයා නිහතමානී විය යුතු බව 

4. සන්නිවේදකයා යුක්ති ගරුක විය යුතු බව

5. සන්නිවේදකයා දයාවන්ත විය යුතු බව 

6. සන්නිවේදකයා නිර්මල සිත් ඇත්තෙකු  බව

7. සන්නිවේදකයා සාමය ඇති කරන්නෙක් බව

8. සන්නිවේදකයා යුක්තිය වෙනුවෙන් පීඩා විදින බව


ඉහත ලක්ෂණ අනුව නූතන ජනසන්නිවේදනයේ සහ නව මාධ්‍ය තුළ පවතින සන්නිවේදක භූමිකාව ආත්මීය ආකාරයෙන් සකස් විය යුතු ආකාරය සම්බන්ධයෙන් ක්‍රිස්තියානි දර්ශනයෙන් පූර්වාදර්ශ ලබාගත හැකි ආකාරය පෙනේ.


දමිත් සුමේන්ද්‍ර පෙරේරා

Monday, 12 August 2024

කාන්තාවගේ ලිංගිකමය ගුණය මාධ්‍ය විසින් උත්කර්ෂයට පත් කිරීම කාන්තාව අවප්‍රමාණ කිරීමක් ද?

 

කාන්තාවගේ ලිංගිකමය ගුණය මාධ්‍ය විසින් උත්කර්ෂයට පත් කිරීම කාන්තාව අවප්‍රමාණ කිරීමක්  ද?


යම්කිසි භාෂාවක් ලිවීමට සහ කියවීමටත්, භාෂාවේ අර්ථ නිසි පරිදි අවබෝධ කර ගැනීමටත් පුද්ගලයා දක්වන සමත්කම සාක්ෂරතාව වශයෙන් හැදින්වේ. නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්ති බලාත්මක වීම නිසා දකුණු ආසියානු කලාපයේ උසස් සාකච්ඡාවක් හිමි රටක් බවට පත්වීමට ශ්‍රී ලංකාවට හැකියාව හිමි ව තිබේ. සාක්ෂරතාව භාෂාවට පමණක් ලඝු නොකළ යුතුය. ආර්ථික සාක්ෂරතාව, දේශපාලන සාක්ෂරතාව, පරිගණක සාක්ෂරතාව, තාක්ෂණික සාක්ෂරතාව, නීතීමය සාක්ෂරතාව ආදී වශයෙන් මෙම සංකල්පය පුළුල්ව සාකච්ඡා කළ හැකිය. ඒ අනුව පෙනී යන්නේ යම්කිසි විෂයක් පිළිබඳ ව පුද්ගලයා තුළ පවතින දැනුම සාක්ෂරතාව වශයෙන් නිර්වචනය කළ හැකි බවයි.

විචාරය සහ සාක්ෂරතාව අතර පවතින්නේ අවියෝජනීය සම්බන්ධයකි. යම් දෙයක ගුණ අගුණ අවබෝධ කර ගැනීමට නම් පුද්ගලයා තුළ විචාරශීලී බව පැවතිය යුතුයි. යම් නව කතාවක් කියවීම සාක්ෂරතාව වන අතර, එම නව කතාව පිළිබඳ ගුණ දොස් දැක්වීම විචාරය වශයෙන් පෙන්වා දිය හැකිය. ඒ අනුව පෙනී යන්නේ සාක්ෂරතාව මූලික කරගෙන විචාරය ගොඩනැගෙන බවයි.

මාධ්‍ය සන්දේශයක් තුළ පවතින සැබෑ අර්ථය අවබෝධ කර ගැනීමට පුද්ගලයා තුළ මාධ්‍ය සාක්ෂරතාව පැවතිය යුතුයි. ප්‍රවෘත්ති, ටෙලි නාට්‍ය, දැන්වීම්, ගීත, පුවත්පත් ලිපි, චිත්‍රපට, වීඩීයෝ, නව කතා, කෙටි කතා ආදී සියල්ල ම මාධ්‍ය සන්දේශ වශයෙන් හුවා දැක්විය හැකිය. මෙම මාධ්‍ය සන්දේශ මගින් පුද්ගලයා වෙත එල්ල කරන බලපෑම අවබෝධ කර ගැනීමට මාධ්‍ය සාක්ෂරතාව අවශ්‍ය වේ. ඒ අනුව " මාධ්‍ය සන්දේශ ලබා ගැනීම, විශ්ලේෂණය කිරීම, ඇගයීම, නිර්මාණය කිරීම" මාධ්‍ය සාක්ෂරතාව වශයෙන් හැදින්විය හැකිය. මාධ්‍ය විචාරය වශයෙන් ඉහත දක්වන ලද මාධ්‍ය සන්දේශ තුළ පවතින ගුණ දොස් පෙන්වා දීම මාධ්‍ය විචාරය වේ. මාධ්‍ය බලපෑමෙන් ආරක්ෂා වීමට නම් ග්‍රාහකයා විචාරශීලී ග්‍රාහකයෙක් බවට අනුවර්තනය විය යුතුයි. එසේ නම් මාධ්‍ය සන්දේශයක් තුළ පවතින ගුණ දොස් මැනීම සදහා පිළිගත් මිනුම් දඩු පවති. ඒවා මාධ්‍ය විචාර දෘෂ්ටිවාද වශයෙන් පෙන්වා දිය හැකිය. සරලාර්තයෙන් ගත් විට මෙම දෘෂ්ටිවාද පුද්ගලයා මාධ්‍ය සන්දේශ කියවීමට භාවිත කරන උපැස් යුවලක් වශයෙන් පෙන්වා දිය හැකිය. ඒ ඒ දෘෂ්ටිවාද උපැස් යුවල හරහා ඔබට අදාළ මාධ්‍ය සන්දේශයේ දෘෂ්ටිවාදයට අදාළ කොටස් දැක බලාගත හැකිය. එසේම එකම මාධ්‍ය සන්දේශයක් දෘෂ්ටිවාද කිහිපයක් ඔස්සේ විචාරයට ලක් කිරීම ද සිදු කළ හැකිය. එවැනි දෘෂ්ටිවාද කිහිපයක් පහත පරිදි වේ.

1. ස්ත්‍රීවාදී මාධ්‍ය දෘෂ්ටිවාදය

2. මාක්ස්වාදී මාධ්‍ය දෘෂ්ටිවාදය

3. මනෝ විශ්ලේෂණ මාධ්‍ය දෘෂ්ටිවාදය

මෙම ලිපිය මගින් ස්ත්‍රීවාදී දෘෂ්ටිවාදය පිළිබඳ ව සන්නිදර්ශන ඇසුරෙන් සාකච්ඡා කෙරේ.

ස්ත්‍රීවාදී දෘෂ්ටිවාදය තුළ පවතින කේන්ද්‍රීය තේමාව බවට පත්වන්නේ මාධ්‍ය තුළ කාන්තාව අවප්‍රමාණ කිරීමයි. අවප්‍රමාණ කිරීම වශයෙන් අසාධාරණයට ලක් වීම, නොසළකා හැරීම, හෑල්ලුවට ලක් කිරීම, අපහාසයට ලක් කිරීම, ගර්හාවට ලක් කිරීම ආදී අර්ථ පවති. අවප්‍රමාණය යන වචනයේ අනුලෝම වචනය බවට පත්වන්නේ ප්‍රමාණ කිරීම යන්නයි. එහි අර්ථය නිසි ගෞරවය ලබා දීම,  සාධනීය ස්ථානයක් ලබා දීම ආදියයි.

මාධ්‍ය සන්දේශ ගත් විට බොහෝ විට පුවත්පත, ගුවන්විදුලිය, රූපවාහිනී ආදී මාධ්‍ය තුළින් මෙම ලක්ෂණ මනාව මතු කරගත හැකිය. වර්තමානයේ ජනමාධ්‍ය මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන කාන්තා රූපලාවණ්‍ය දැන්වීම් මගින් කාන්තාවට සම පැහැපත් කර ගැනීම, Dark Spot ඉවත් කර ගැනීම, සම රන්වන් පැහැ කර ගැනීම, සුන්දර කෙස් කළඹක් ලබා ගැනීමට ආරාධනා කරයි. මෙම දැන්වීම් හරහා සිදු වන්නේ කාන්තාවගේ පවතින ලිංගිකමය ගුණය ඔප් නැංවීමට කටයුතු කිරීමයි. ඒ අනුව සමාජයේ කාන්තාව බෝනික්කන් බවට පත් කිරීමට මාධ්‍ය කටයුතු කරයි. එසේම කාන්තාව පිළිබඳ ව මාධ්‍ය හරහා මවා පෙන්වන සංකල්ප තුළ දී ද කාන්තාවගේ මෙම ලිංගිකමය ගුණය, සුරූපී බව ඔප් නංවයි. නිදසුනක් වශයෙන් ටෙලි නාට්‍ය තුළ දී අපට දක්නට ලැබෙන මව, බිරිඳ, සහෝදරිය තුළ ඉහත දක්වන ලද ලිංගිකමය ගුණය උත්කර්ෂවත් ආකාරයෙන් පෙන්වා දෙයි. මෙවැනි දැන්වීම් සහ ටෙලි නාට්‍ය නරඹන කාන්තාවට අවශ්‍ය වන්නේ තමාගේ සුරූපී බව වර්ධනය කර ගැනීමයි. මින් සමාජයට හිමිවන්නේ ලද බොළඳ කාන්තාවන් ය. එසේම කාන්තාව තුළ පවතින මෙම ලිංගිකමය ගුණය ඉස්මතු වීම නිසා කාන්තාවට සමාජයේ හිමිවන්නේ නිසි ස්ථානය නොවේ. ඒ අනුව පෙනී යන්නේ ලාභය උදෙසා කාන්තාව ලිංගිකමය භාණ්ඩයක් සහ වෙළෙඳ භාණ්ඩයක් බවට මාධ්‍ය පත් කරන ආකාරයයි. මේ අනුව පෙනී යන්නේ මාධ්‍ය තුළ කාන්තාව අවප්‍රමාණ කිරීමයි.

ස්ත්‍රීවාදී මාධ්‍ය විචාරය තුළ දී කාන්තා චරිතය මාධ්‍ය තුළ ඒකාකෘතික ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කරනු ලබයි. බහුතරයක් ටෙලි නාට්‍යවල මව, බිරිඳ වැනි චරිත නිවසට කොටු වී සිටින, ගෙදර වැඩ කරනු ලබන, ස්වාමියාගේ පීඩාවට පත් වන, සමාජ අසාධාරණයට ලක්වන, දරුවන් හදා වඩා ගන්නා චරිත වශයෙන් හුවා දක්වයි. ඉන් මාධ්‍ය උත්සාහ කරන්නේ කාන්තාව එක් රාමුවකට සීමා කිරීමටයි. එය මාධ්‍ය තුළ කාන්තාව ඒකාකෘතික කිරීමකි. එසේම දැන්වීම් තුළ දී සුරූපී ලද බොළඳ කාන්තාවක් නිර්මාණය කිරීම හේතුවෙන් කාන්තාව තමන්ගේ උපරිම විභව ශක්තිය භාවිත නොකරයි. ඒ අනුව ද කාන්තාව සුරූපී යන රාමුවට කොටු කරනු ලබයි. මේ නිදර්ශන ඇසුරෙන් පෙනී යන්නේ කාන්තාව ඒකාකෘතික කිරීමට මාධ්‍ය යත්න දරන ආකාරයයි.

කාන්තාව සෘජු ව සංවර්ධනය ක්‍රියාවලියට සම්බන්ධ කරගත හැකිය. කාන්තාවගේ ශක්තීන් රටේ සංවර්ධනයට යොදාගත හැකිය. කාන්තාවගේ හැකියාවන් ප්‍රවර්ධනය වන ආකාරයෙන් මාධ්‍ය සන්දේශ නිර්මාණය කළ යුතුයි. නමුත් සංවර්ධනය වෙර දරන කාන්තාවකට වඩා මාධ්‍ය විසින් නිර්මාණය කරනු ලබන්නේ අව්වට වැස්සටවත් ඔරොත්තු නොදෙන බොනික්කන් ය. මේ අනුව නැවත පෙනී යන්නේ මාධ්‍ය තුළ කාන්තාව අවප්‍රමාණ කිරීමක් වේ.

මාධ්‍ය සන්දේශ තුළ දී ස්වභාවික කාන්තා ප්‍රතිරූපය මුළුමනින්ම විනාශයට ලක් කරමින් කෘතිම කාන්තා ප්‍රතිරූප නිර්මාණය කරනු ලබයි. බොහෝ දැන්වීම්වල දී අපට හමුවන මව, බිරිඳ, පෙම්වතිය සහ සහෝදරිය ස්වභාවිකත්වය ඉක්මවා ගිය චරිත බවට පත් වී ඇත. ඒ අනුව පෙනී යන්නේ ස්වභාවිකත්වයට එහා ගිය ස්ත්‍රී චරිත මාධ්‍ය මගින් නිර්මාණය කරන බවයි. තවද එම ස්ත්‍රීන් සැබෑ සමාජයේ සෙවීමට කටයුතු කිරීම ද ඛේදවාචකයකි.

මේ සෑම ආකාරයෙන් ම පෙනී යන්නේ ස්ත්‍රීත්වය පිළිබඳ වටිනාකම් වෙනස් කරමින් මාධ්‍ය විසින් සිය ලාභ උපයා ගැනීමට ස්ත්‍රීය භාවිත කරන ආකාරයයි. මාධ්‍ය මගින් ස්ත්‍රීත්වය තුළ පවතින වටිනාකම් සමාජය තුළ ස්ථාපිත කිරීමට ක්‍රියා කළ යුතුය. ස්ත්‍රීයගේ හැකියාවන්, විභවතාවන් හදුනා ගැනීම සිදු කළ යුතුයි.

දමිත් සුමේන්ද්‍ර පෙරේරා
MSSC (Reading), BA (Hons) Mass Communication, University of Kelaniya.
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය භාර ආචාර්ය
සාන්ත ජෝසප් විදුහල, නුගේගොඩ

Monday, 5 August 2024

මැන්ජා ප්‍රජාව

ශ්‍රී ලාංකේය අප්‍රිකානු ප්‍රජාව හෙවත් මැන්ජා ප්‍රජාව 



සෑම පුද්ගලයෙක් ම සමාජීය සත්ත්වයෙක් වශයෙන් යම්කිසි ප්‍රජාවකට අයත් වන්නෝය. එසේම එම ප්‍රජාවන් සතු ව ඔවුන්ට ම ආවේණික වූ සංස්කෘතිමය රාමුවක් පවති. එම සංස්කෘතික රාමුව විසින් ඔවුන්ගේ අනන්‍යතාවය පිළිඹිබු කරයි. සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික, හින්දු, බෞද්ධ ආදි වශයෙන් එම ප්‍රජා කණ්ඩායම් පෙන්වා දිය හැකිය. සෑම අවස්ථාවක් තුළ දී ම යම්කිසි පොදු ලක්ෂණයක් හේතුවෙන් පුද්ගලයින් සමූහයක් තුළ සමානතා ලක්ෂණ පෙන්නුම් කරන විට එම පිරිස පොදුවේ ප්‍රජාවක් වශයෙන් අර්ථකථනය කරයි. මෙම ලිපිය තුළින් ශ්‍රී ලංකාවේ ජීවත් වන අප්‍රිකානු සම්භවයක් සහිත ශ්‍රී ලාංකිකයන් පිළිබඳ සාකච්ඡාවට බදුන් කෙරේ. 


බටහිර ජාතීන් වන පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි පාලන සමයන්වල දි මෙරට වහල් සේවය සදහා විවිධ වූ රටවල ප්‍රජාවන් මෙරටට ගෙන එන ලදි. එම ප්‍රජාවන් අතර දකුණු ඉන්දීය දමිළ ප්‍රජාව ජනප්‍රිය තලයේ වෙසෙයි. නමුත් පෘතුගීසි පාලන සමයේ දී ශ්‍රී ලංකාවට ගෙන එන ලද අප්‍රිකානු ජනතාව පිළිබඳ ව සමාජය තුළ පවතින්නේ අල්ප දැනුම්වත්භාවයකි. 1505න් පසුව ශ්‍රී ලංකාවට ගෙන එන ලද අප්‍රිකානු ප්‍රජාව විවිධ නගරවල සේවය සදහා යොමු කරන ලදි. එම අප්‍රිකානු ප්‍රජාව වර්තමානයේ දී "Ceylon Affrican Manja" වශයෙන් හදුන්වා දෙයි. මැන්ජා ප්‍රජාව පිළිබඳ ව ශාස්ත්‍රාලීය අධ්‍යයන සිදු වන නමුත් එය ප්‍රමාණවත් මට්ටමක නොපවතී. මුල් යුගයේ දී බටහිර ජාතීන් විසින් මෙරට සේවයට ගෙන එන ලද අප්‍රිකානු ප්‍රජාව නැවත අප්‍රිකාවට ගෙන යන මුත්, ඇතැම් අප්‍රිකානු පිරිස් මෙරට ජාතීන් සමග විවාහ වී සිටීම හේතුවෙන්, යම් පිරිසක් මෙරට සිය වාසස්ථානය වශයෙන් තෝරා ගන්නා ලදි. එම ප්‍රජාව ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල වර්තමානයේ වාසය කරයි. අගනුවර ප්‍රදේශයවල සහ රට අභ්‍යන්තර ප්‍රදේශවලත්, මීගමුව ප්‍රදේශයෙත්, පුත්තලමේ සිරම්බිඅඩිය ප්‍රදේශයෙත් මෙම අප්‍රිකානු ප්‍රජාව වර්තමානයේ හදුනාගත හැකිය. මෙම ලිපිය සදහා දත්ත ලබා ගැනීමට පුත්තලමේ සිරම්බිඅඩිය ප්‍රදේශයේ මැන්ජා ප්‍රජාව සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවක් භාවිත කෙරේ. 


පුත්තලම ප්‍රදේශයේ සිරම්බිඅඩිය ගම්මානයක් ලක්ෂණ පෙන්නුම් කරන යම්තාක් භෞතික වශයෙන් ගැටලු උද්ගත වූ ප්‍රදේශයකි. මෙම ගම්මානය තුළ අප්‍රිකානු සම්භවයක් සහිත මැන්ජා ප්‍රජාව වාසය කරයි. සීමා සහිත පවුල් සංඛ්‍යාවකින් සමන්විත මෙහි පරම්පරාව තුනක් වර්තමානයේ වාසය කරනු ලබයි. ආර්ථික වශයෙන් මෙම ප්‍රජාව ප්‍රදේශයේ කර්මාන්ත ශාලවල සේවය කරනු ලබයි. තවද එහිලා නිවසේ වෙසෙන සියලු ම සාමාජිකයන් සහභාගී වෙයි. ඇතැම් අවස්ථාවවල වයෝවෘද්ධ පිරිස් පමණක් නිවස තුළ සිටියි. 


මැන්ජා ප්‍රජාව සිරම්බිඅඩිය ප්‍රදේශයේ ජීවත් වීමේ දී හදුනාගත හැකි සුවිශේෂ ලක්ෂණයක් වන්නේ සෙසු ප්‍රදේශවාසීන්ගෙන් දුරස් වූ බවයි. ඇතැම් අවස්ථාවන්හි දී ඔවුන්ගේ සාකච්ඡාවලින් හෙලිදරව් වන්නේ සමාජමය වශයෙන් ඔවුන්ට අඩු සැළකිල්ලක් හිමිවන ආකාරයයි. මැන්ජා සංස්කෘතිය  අනාගත පරම්පරාව වෙත සම්ප්‍රේෂණය කිරීමේ දී පළමු සහ දෙවන පරම්පරාව වැදගත් වේ. නමුත් තුන්වැනි පරම්පරාවේ අයවලුන් විසින් ප්‍රමාණවත් ආකාරයෙන් සංස්කෘතිය පැතිරවීමට කටයුතු කරන ආකාරය හදුනාගත නොහැකිය.


මැන්ජා ප්‍රජාව විසින් ඔවුන්ගේ කණ්ඩායමේ සාමාජිකයන් සමග සමූහ සන්නිවේදන කාර්‍යයේ නියැළෙයි. ඔවුන් විසින් සමූහයක් වශයෙන් ඔවුන්ගේ සංස්කෘතිය සෙසු ප්‍රජාවන් වෙත ගෙන යාම උදෙසා කුඩා කණ්ඩායම් සන්නිවේදනයේ නියැළෙයි. ප්‍රජාවක් වශයෙන් මැන්ජා ප්‍රජාව තුළ පවතින සන්නිවේදනාත්මක ක්‍රියාවලිය ඔවුන්ගේ සංස්කෘතිය අන් ප්‍රජාවන් වෙත සන්නිවේදනය කිරීමටත්, සංචාරකයන් හට සිය සංස්කෘතික ක්‍රියාකාරකම් ඉදිරිපත් කිරීමටත් භාවිත කරයි.


දමිත් සුමේන්ද්‍ර පෙරේරා

Wednesday, 19 July 2023

ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා


ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා

මානව වංශ කතාව තුළ ආරම්භයේ සිටම මානවයා විසින් තමන්ගේ පරිසරය සහ සාමාජිකයන් අතර අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධතාව පවත්වා ගනිමින් යහපත සහ අයහපත පිළිබඳ නිවැරදි දේ හඳුනාගනිමින් ජීවත් වන්නට වූයේ ය. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටි මානවයා දියුණු මානව කොටසක් බවට පරිණාමය වන්නට වූයේ මානවයා ශිෂ්ටාචාරගත වීමත් සමඟ ය. එසේ ශිෂ්ටාචාරගත වීමත් සමඟ මානවයා විවිධ වූ සාමාජීය හා පරිසරාත්මක අංගයන් සමඟ සම්බන්ධ වෙමින් ඔවුන්ගේ පරිසරය සහ වටපිටාව තේරුම් ගැනීමට මෙන්ම ඒ සමඟ සහසම්බන්ධතාව පැවැත්වීමට උත්සහ ගත් අතර ඒ තුළින් ‘සංස්කෘතිය’ නම් වූ ප්‍රපංචයේ ප්‍රාරම්භය සිදු වන්නේ ය. එබැවින් මානවයා සංස්කෘතියේ නිර්මාතෘවරයා මෙන්ම වාහකයා වශයෙන් සුවිශාල කාර්යය භාර්යයක් සිදු කරන අතර, යුගයෙන් යුගයට මානව සංස්කෘතියේ විවිධ වූ පරිණාමයන් ඇති වන්නට විණි. එබැවින් සංස්කෘතිය, මිනිසා හා සාමාජීය පරිසරය අතර ගොඩනැඟෙන්නක් වන බැවින් ප්‍රදේශයෙන් ප්‍රදේශයට, යුගයෙන් යුගයට සංස්කෘතිය නම් වූ ප්‍රපංචයේ ගතික බව මනාව පිළිඹිබු වන්නේ ය. එම සංස්කෘතියෙහි උත්පත්තිය මානව වංශ කතාවේ ආරම්භය එනම්, මිනිසාගේ ඉතිහාසය දක්වා පැරණි වන බව ඇල්ෆඩ් ක්‍රෝබර් සහ ක්ලයිඩ් ක්ලක්හෝන් පෙන්වා දෙයි. ‘සංස්කෘතිය මිනිසා විසින් නිර්මාණය කර ගන්නා ලද දෙයකි’ (ක්‍රෝබර් සහ ක්ලක්හෝන්:1952).

සංස්කෘතිය සහ මිනිසා අතර පවතින්නේ අවියෝජනීය සබඳතාවකි. ඒ මන්දයත් සංස්කෘතියෙහි නිර්මාපකයා සහ සංස්කෘතියේ ප්‍රධාන වාහකයා මිනිසා වන බැවිනි. එබැවින් සංස්කෘතිය මිනිසාගෙන් සහ සාමාජිය පරිසරයෙන් ව්‍යුක්තව තේරුම් ගත නොහැක. සංස්කෘතිය මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් වන බැවින් සංස්කෘතියෙහි සංරචක සහ මානවයා අතර පවතින්නේ ද අවියෝජනීය සබැඳියාවකි. තවද මානව දිවිය සහ සංස්කෘතිය අතර පවතින සහසම්බන්ධතාවය ඉන් නිරූපණය වේ. “සංස්කෘතිය හෝ සභ්‍යත්වය යනු, ඇදහිලි, කලා, නීති රීති, සදාචාර, සිරිත් විරිත්, සමාජයේ ජීවත් වන පුද්ගලයෙකු ලෙස ලබාගත් අනෙකුත් කුමන ආකාරයේ හෝ පුරුදු, හැකියාවන් ඇතුළු සංකීර්ණ සමස්ථය යි ”(ටයිලර්:1971). මිනිසාසාමාජීය වශයෙන් ලබා ගන්නා සියලුම අංගයන්, හුරු පුරුදු, ආකල්ප, සිරිත් විරිත්, ආගම, සෞන්දර්්‍ය ආදි තවත් බොහෝ දෑ සංස්කෘතිය නම් වු ප්‍රපංචයේ සංරකයන් වෙති. එබැවින් සංස්කෘතිය වටහා ගැනීම තුළින් මානව සමාජය පිළිබඳව පුළුල් වූ අවබෝධයක් ලබා ගත හැකිය. “සංස්කෘතිය යනු, සමාජයක හෝ සමාජ කණ්ඩායමක ලක්ෂණ පෙන්වන ආවේණික වූ ආත්මික, භෞතික, බුද්ධිමය සහ හැඟීම් ඇතුළු සංකීර්ණ අංගයන්ගෙන් සමන්විත වූ දෙයකි. එයට කලාව සහ අකුරු පමණක් නොව ජීවන ක්‍රමය, මානවයාගේ මූලික අයිතිවාසිකම්, අගයන් සම්ප්‍රදායන් සහ ඇදහිලි ඇතුළත් වෙයි” (සංස්කෘතික ප්‍රතිපත්තිය පිළිබඳ මෙකේසිකෝ සිටි ප්‍රඥප්තිය:1982). සංස්කෘතිය පිළිබඳ පර්යේෂණ සිදු කර ඇති ප්‍රධාන පෙළේ පර්යේෂකයන් සියලුම දෙනාගේ පාහේ සංස්කෘතික නිර්වචනයන් කේන්ද්‍රගත වන්නේ ‘සංස්කෘතිය මිනිසා විසින් සමාජීය බලපෑම මත නිර්මාණය කර ගන්නා ලද උසස් ජීවන රටාවක් ’ යන මූලික අදහස වෙතටයි. එමනිසා මිනිසාගේ සමාජයේ එදිනදා ඔවුනට හමුවන දෑ සංස්කෘතිය තුළින් නිරූපණය වන්නට විය. “ඕනෑම සංස්කෘතියක් තුළින් විවිධ අංගෝපාංග නිර්මාණය වේ. ඒ අනුව භාෂාව, ආගම, අනන්‍යතාවය, ජාතිකත්වය, සිරිත් විරිත්, ගති පැවතුම්, පුරුෂාර්ථ, කලා නිමැවුම්, සෞන්දර්්‍ය නිර්මාණ, පරිසරය, ස්මාරක හා ගෘහ නිර්මාණ යනාදියෙහි සමස්තය සංස්කෘතිය නැමති සංකල්පය සඳහා විවිධ අරුත් සම්පාදනය කරයි” (අමාලි:2018).

සංස්කෘතියේ සංරචක අතර මිනිසා විසින් සිය රසවින්දනය උදෙසා නිර්මාණය කරගන්නා ලද කලාවට අද්විතිය ස්ථානයක් හිමි වෙයි. තවද වර්තමානය තෙක් සංස්කෘතික පරිණාමය මත, එම කලාවන් ද පරිණාමය වෙමින් නූතනය දක්වා පැමිණ ඇත්තේ ය. එසේම කිසියම් සමාජ පද්ධතියක සංස්කෘතිය නිරූපණය කිරීමට සහ ඒ පිළිබඳ ග්‍රාහකයාට දැනුම සන්නිවේදනය කිරීම ‘කලාව’ ට හැකි වන්නේ ය. “කලා කෘතීන්, සමාජ ක්‍රමය, චර්යා ධර්ම සහ වත්පිළිවෙත්, ආගම් ධර්ම යනාදියෙන් සංස්කෘතිය විදහා දැක්වෙයි” (එලියට්:1962). 

කලාව මිනිසා විසින්ම නිර්මාණය කරගන්නා ලද සංස්කෘතික සංරචකයක් වන අතර, කලාව තුළින් විද්‍යාමන වන්නේ ද මිනිසාගේ හෝ සමාජ කණ්ඩායමක් තුළ පැවති අපේක්ෂාවන් සහ අවශ්‍යතාවයන් ය. ඒ බව මහාචාර්ය ආරියරත්න ඇතුලයන් නූතන රංග භූමිය කෘතියේ දී දක්වන්නේ මෙසේ ය; “මිනිසා සතු කලාත්මක උරුමය මානව ස්වාභාවිකත්වයේම නිෂ්පත්තියකි. කලාව  විශ්ව ක්‍රියාදාමයක් වන්නේ ද එබැවිනි. කලාව යන වදන ලතින් භාෂාවෙන් නිර්මාණය වූවක් වන අතර එහි මුල් තේරුම ‘කුසලතා හා ශිල්පීය’ යන්න යි. කලාව යන්නෙහි සරල වචනාර්ථය එසේ වුවත් කලාව මානව අධ්‍යයන විෂය කේෂත්‍රයේ පෘථුල පරිධියක් ආවරණය කරයි.” කලාව මානව අධ්‍යයන විෂය පථය අධ්‍යයනය කිරීම උදෙසා වඩාත් සුදුසුම ප්‍රවේශයක් වන බැවින් එම කලාව තුළ පවතින වචන, රූප, ශබ්ද වූ ත්‍රිවිධ ආකාරයන් තුළින් මානව සමාජය තුළ පවතින ආගමික, දේශපාලනික, ආර්ථික යනාදි බොහෝ සාමාජීය අංගයන් වෙත ප්‍රවේශ වීමේ හැකියාව පවතින්නේ ය.

එම කලාවේ පැවති වචන තුළින් නිර්මාණය වූ සාහිත්‍යය කලාවේ එක් නිරූපණ අවස්ථාවක් වන අතර ආදි යුගයේ පටන් වාචිකව පැවති සාහිත්‍යය පසුකාලීනව ග්‍රන්ථකරණය හරහා සංස්කෘතිය වෙත පැමිණෙන්ට වූ අතර සාහිත්‍යය අධ්‍යයනය තුළින් ද කිසියම් හෝ ප්‍රදේශයක, යුගයක සංස්කෘතික ලක්ෂණ පිළිබඳ පෘථුල අවබෝධයක් ලබා ගත හැක්කේ ය. එබැවින් සාහිත්‍යය අධ්‍යයනය තුළින් ලැබෙන්නා වූ දත්තයන් මත දේශීය සහ විදේශීය වශයෙන් කිසියම් වූ කාල සීමාවක සමාජ පරිසරය පිළිබඳ මනා වූ තොරතුරු සමූහයක් වෙත පිවිසිය හැකි වන්නේ ය. ‘තොරතුරු, අධ්‍යාපනය, විනෝදාස්වාදය හා අභිප්‍රේරණ කාර්යය උදෙසා සාහිත්‍යය රචනා වී ඇති ආකාරය අනුව එකී සාහිත්‍යය යුගයන්හි පැවති සමාජ, ආර්ථික, දේශපාලන ලක්ෂණ ප්‍රකට කෙරේ’ (අමාලි:2016). සංස්කෘතික සන්නිවේදන විෂය පථයේ දී සංස්කෘතිය නිරූපණය වන අවස්ථාවක් බවට සාහිත්‍යය පත් වන අතර, සාහිත්‍යය මගින් පුළුල් සංස්කෘතික දැනුමක් ග්‍රාහකයා වෙත ලබා ගත හැකි වන්නේ ය. සාහිත්‍යය මගින් කිසියම් කාල සීමාවක දී යම් තොරතුරක් හෝ පණිවිඩයක් ඉලක්කගත ග්‍රාහක පිරිසකට සන්නිවේදනය කිරීමට උත්සහ ගත් අතර, එය සන්නිවේදනාත්මක කාර්යයකි. එබැවින් සාහිත්‍යය මගින් සන්නිවේදනය වන තොරතුරු මත පදනම්ව සංස්කෘතික ගති ලක්ෂණ මැනවින් හඳුනාගත හැකි වන්නේ ය.

‘සංස්කෘතිය සන්නිවේදනය යි’ (විලියම්ස්:1960). සංස්කෘතිය මගින් දේශපාලන, ආර්ථික, සමාජීය කරුණු නිරූපණය කරනු ලැබීම නිසා සංස්කෘතිය යනු, සන්නිවේදන කාර්යයකි. ‘දෙපාර්ශවයක් අතර එක හා සමාන මානසික තත්ත්වයක් ඇති වන්නේ නම් එය සන්නිවේදනය යි’ (ශ්‍රාම්:1982). පුද්ගලයින් දෙදෙනෙකු අතර මෙන්ම පුද්ගල කණ්ඩායම් අතර එක හා සමාන මානසික තත්ත්වයක් ඇති වන්නේ ඔවුන් එක හා සමාන සංජානනයක් ලැබූ විට දී ය. එවිට සන්නිවේදකයා සහ ග්‍රාහකයා අතර මනා වැටහීමකින් යුතුව, එක හා සමාන අත්දැකීම් පරිසරයක් තුළ යහපත් සන්නිවේදන කාර්යයක නියැළීමට හැකි ය. ඒ අනුව පුද්ගලයින් දෙදෙනෙකු හෝ කණ්ඩායමක් අතර එක සංදේශයක් පිළිබඳව සමාන තේරුම් ගැනීමක් ඇති වීමට නම්, එම ප්‍රජාවන් අතර පවතින අත්දැකීම්, අධ්‍යාපනය සහ සංස්කෘතිය යන සාධක එක හා සමාන විය යුතුය. විල්බර් ශ්‍රාම් දක්වන සන්නිවේදන ආකෘතියට පර්යේෂණ ගැටලුව ආදේශ කිරීමේ දී ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා විසින් කතෝලික ජනතාවගේ  සමාජ පරිසරය නිසියාකාරව වටහා ගැනීම නිසා එතුමාට සිය සන්නිවේදන කාර්යය වඩාත් සාර්ථක කර ගැනීමට හැකි විය. එබැවින් ගොන්සාල්වෙස් පියතුමාගේ ධර්මදූත ව්‍යාපාරය සාර්ථක වීමෙහිලා එතුමා භාවිතයට ගත් සන්නිවේදන ආකෘතීන් සුවිශාල දායකත්වයක් සපයනු ලැබීය.

තවද සන්නිවේදන කාර්යයේ දි පුද්ගලයින් දෙදෙනෙකු අතර එක හා සමාන මානසික තත්ත්වයක් ඇති කිරීම පිණිස හේතු වන්නේ අදාළ සංදේශය යි. සන්නිවේදකයා සහ ග්‍රාහකයා අතර සම්බන්ධය ගොඩනංවනු ලබන ප්‍රධාන සාධකය වන අතරම, ‘සංදේශය හෙවත් පණිවිඩය යනු සන්නිවේදන ක්‍රියාවලියේ දී සම්පූර්ණ විය යුතු ලක්ෂණ තුනෙන් එකකි’ (රාජපක්ෂ:2104). සංදේශය මූලික වශයෙන් සන්නිවේදනයේ අරමුණු වන තොරතුරු සම්පාදනය, විනෝදාස්වාදය ලබා දීම, අධ්‍යාපනය සහ පෙළඹවීම යන සිව් වැදෑරුම් කරුණු ග්‍රාහකයා වෙත ගෙන යනු ලබයි. එහිදි පෙළඹවීම සන්නිවේදනයේ ප්‍රධාන අරමුණකි. ‘මහජනතාව නොයෙකුත් සමාජීය, සංස්කෘතික හා දේශපාලන, ආර්ථික අවශ්‍යතා කෙරෙහි මහජනතාව පොළඹවා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වීම ජනමාධ්‍යයේ පුළුල් මෙන්ම අතිශය සියුම් ලෙස ක්‍රියාත්මක කෙරෙන කාර්යයකි’ (ජිනදාස:2015). ඒ අනුව ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමාගේ කාර්යාවලිය පර්යේෂණයට ලක් කිරීමේ දී පෙනී යන්නේ පෙළඹවීම නැමති සාධකය එතුමාගේ ග්‍රන්ථ මගින් නිරූපණය වන බවයි. එබැවින් ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා අනුගමනය කළ පුළුල් සන්නිවේදන ව්‍යාපාරය පිළිබඳ අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණයේ දී සිදු කෙරේ.

 ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමාගේ ග්‍රන්ථ තුළින් මතුවන දේශීය සංස්කෘතික සන්නිවේදන ලක්ෂණ තුළින් එවකට එනම්, ලන්දේසී පාලන සමය තුළ දී මෙරට පැවති දේශීය සංස්කෘතික සහ සන්නිවේදන ලක්ෂණ පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගත හැකි බව . තවද ඉහත දී දැක්වු ආකාරයට සාහිත්‍යය තුළින් සංස්කෘතිය නිරූපණය වන බැවින් උක්ත පර්යේෂණයේ දී එවකට ශ්‍රී ලංකාවේ පැවති දේශීය සංස්කෘතික සහ සන්නිවේදන ලක්ෂණ හඳුනාගත හැකි වන්නේ ය. ඒ මන්දයත් සංස්කෘතිය සහ සාහිත්‍යය අතර පවතින අවියෝජනීය සම්බන්ධතාව තුළින් උක්ත පර්යේෂණ මාතෘකාව පර්යේෂණයට ලක් කළ හැකි නිසාය.

සංස්කෘතික සන්නිවේදන විෂය ක්ෂේත්‍රය යටතේ  ආගමික සන්නිවේදනයට විශේෂිතව මෙම පර්යේෂණය සිදු කෙරේ. එහිදි පර්යේෂණ මාතෘකාවට ප්‍රස්තුතය වූයේ  රෝමානු කතෝලික පියතුමෙකු වන ඉන්දියානු ජාතික, කොණ්කණි බ්‍රහ්ම වංශිකගෞරවනීය ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමාගේ සාහිත්‍යය සේවාව යි. ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා විසින් ලන්දේසී පාලන සමයේ දී මෙරටට පැමිණ, සිංහල භාෂාව හදාරා ශ්‍රී ලාංකේය කතෝලික සාහිත්‍යයේ දියුණුව උදෙසා සාහිත්‍යකරණයේ නියැලුණු අතර ක්‍රි.ව. 1676 සිට ක්‍රි.ව. 1742 දක්වා කාලයේ දී එකි සාහිත්‍යයකරණය සිදු විය. ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමන් විසින් රචනය කරන ලද සාහිත්‍යය ග්‍රන්ථයන් පසුකාලීන පර්යේෂකයන් විසින් කොටස් තුනකට බෙදා වෙන් කොට දක්වයි. නමුත් එම වර්ගීකරණය තුළ ද පරස්පරතා ඇති බව පර්යේෂණයේ දී පෙනී යයි. එනම්, සුනිල් ආරියරත්නයන් විසින් ගද්‍ය කෘති, පද්‍ය කෘති සහ ගීත ප්‍රබන්ධ ලෙස එම වර්ගීකරණය පෙන්වා දෙන අතරම, ඇන්තනි ප්‍රනාන්දුපුල්ලේ පියතුමා පෙන්වා දෙන්නේ ගද්‍ය කෘති, පද්‍ය කෘති සහ නාට්‍ය යන තෙවැදෑරුම් වර්ගයන් ය.

කෙසේ නමුත් එම සියලුම වර්ගීකරණයන්ට යටත්ව ගොන්සාල්වෙස් පියතුමාගේ සමස්ත සාහිත්‍යය ග්‍රන්ථ සංඛ්‍යාව හතළිස් දෙකක් වන අතර, ඉන් විසි දෙකක් සිංහල භාෂාවෙන් ද පහළොවක් දෙමළ භාෂාවෙන් ද හයක් පෘතුගීසි භාෂාවෙන් ද ඕලන්ද භාෂාවෙන් එක් කෘතියක් ද වෙති. තවද ගොන්සාල්වෙස් පියතුමා විසින් ධර්ම ග්‍රන්ථවලට අමතරව ශබ්දකෝෂ කිහිපයක් ද නිර්මාණය කර ඇති අතර පෘතුගීසී-සිංහල, සිංහල-පෘතුගීසී, දෙමළ-සිංහල ආදී වශයෙන් ඒවා වෙති. තවද එම ශබ්දකෝෂයන් තුළින් ගොන්සාල්වෙස් පියතුමාගේ භාෂා නිපුණත්වය මනාවට නිරූපණය වන ආකාරය පෙනී යන්නේ ය.


ගොන්සාල්වෙස් පියතුමන් විසින් රචිත සිංහල ග්‍රන්ථ නාමාවලිය

 

1. දේව වේද පුරාණය

2. අඥාන ඖෂධය

3. භේදකාරයින්ගේ තර්කය

4. දේව වේද සංක්ෂේපය

5. ක්‍රිස්තියානි පල්ලිය

6. ඥානාංජනය

7. ප්‍රාතිහාර්්‍යාවලිය

8. වේද කාව්‍ය

9. ආනන්ද කලිප්පුව

10. සුකෘත දර්පණය

11. මංගල ගීතය

12. බුද්ධ බණ ප්‍රත්‍යක්ෂය

13. දේව නීති විසර්ජනය

14. සුවිශේෂ විසාධනය

15. දුක්ප්‍රාප්ති ප්‍රසංගය

16. ධර්මෝද්‍යානය

17. දේව පරිහාරිය

18. පසන් පොත

19. ලතෝනි පොත

20. දිනෝ භක්තිය

21. පව් පරීක්ෂාව 

මෙම අධ්‍යයනයේ දී ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා විසින් රචනය කරන ලද සිංහල ග්‍රන්ථ විසි දෙකෙන් තෝරාගත් ග්‍රන්ථ පහකට විශේෂිතව පර්යේෂණය සිදු කෙරේ. එබැවින් වේද කාව්‍යය, පසන් පොත, ආනන්ද කලිප්පුව, මංගල ගීතය සහ ලතෝනි පොත ආදි ග්‍රන්ථයෝ මෙම අධ්‍යයනයට සාධකයන් සපයති.

තවද ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා පිළිබඳ අධ්‍යයනය කිරීම කාලීන අවශ්‍යතාවයක් වන අතර එහිදි ගොන්සාල්වෙස් සාහිත්‍යය පිළිබඳ සිදු කර ඇති පර්යේෂණ එම වැදගත්කම උදෙසා හේතුපාදක විය. ගොන්සාල්වෙස් සාහිත්‍යය පිළිබඳ පර්යේෂණ සිදු කර ඇති ප්‍රමුඛ පෙළේ පර්යේෂකයන් රැසක් සිටිති. (එඩ්මන්ඩ් පීරිස්: 1905, දොන් පීටර්: 1991, එම්.එච්. ගුණතිලක: 2001, සුනිල් ආරියරත්න: 2003, විජිත් රොහාන්: 2006, රොමේෂ් නෝනිස්: 2014, ප්‍රනාන්දුපුල්ලේ:2017)

එම පර්යේෂකයන් අතර ගොන්සාල්වෙස් සාහිත්‍යය පිළිබඳ පර්යේෂණ සිදු කළ පුරෝගාමියා ආචාර්ය දොන් පීටර් මාහිමියන් (1991) වන අතර, පීටර් මාහිමියන්ගේ පර්යේෂණ ගොන්සාල්වෙස් සාහිත්‍යය කේන්ද්‍ර කරගනිමින් සිදු වූ පර්යේෂණ විය. තවද පීටර් මාහිමියන් පසුකාලීනව සිදු කළ පර්යේෂණ ග්‍රන්ථ හතරක් මගින් ද (ගොන්සාල්වෙස් පඬිවරයාණෝ:1991, ගොන්සාල්වෙස් පාඨාවලි:2001, ඥානාජනය:1994) අවධානය යොමු කරන්නේ ගොන්සාල්වෙස් සාහිත්‍යය සහ දේශීය සාහිත්‍යය අතර පවතින සම්බන්ධතාව වෙත ය.

එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමා මුල් කාලීනව ගොන්සාල්වෙස් සාහිත්‍යය පිළිබඳ පර්යේෂණ සිදු කළ පුරෝගාමී විද්වතෙක් වන අතර ‘සිංහල ක්‍රිස්තියානි වංශය’ නැමති පර්යේෂණ ග්‍රන්ථයේ දී ගොන්සාල්වෙස් සාහිත්‍යය අරඹයා දක්වන්නේ සිංහල සාහිත්‍යයට පමණක් නොව, සිංහල නාට්‍ය අරඹයා ද ගොන්සාල්වෙස් සාහිත්‍යයේ අභාෂාය පවතින බවයි. තවද ගොන්සාල්වෙස් සාහිත්‍යය අරඹයා මෙතෙක් සිදු වී ඇති පර්යේෂණ අතුරින් මහාචාර්ය එම්.එච්.ගුණතිලකයන් ගොන්සාල්වෙස් සාහිත්‍යයේ ආභාෂය අනුව මෙරට ස්ථාපනය වූ නාට්‍ය කලාව පිළිබඳ ‘සිංහල නාඩගම් හා දමිළ කූත්තු’ පර්යේෂණ ග්‍රන්ථයේ දී සිය නිගමනයන් ඉදිරිපත් කරයි. තවද ගොන්සාල්වෙස් සාහිත්‍යය පිළිබඳව සිදු කෙරී ඇති පර්යේෂණ අතරින් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පර්යේෂණ කේන්ද්‍රගත වන්නේ ගොන්සාල්වෙස් සාහිත්‍යය තුළින් පෝෂණය වූ දේශීය සංගීතය සහ නාට්‍ය කලාව අරඹයා ය. ආචාර්ය ඇන්තනී ප්‍රනාන්දුපුල්ලේ පියතුමන් විසින් සිය ආචාර්ය උපාධිය සඳහා ඉදිරිපත් කරන පර්යේෂණය අද වන විට ගොන්සාල්වෙස් සාහිත්‍යය පිළිබඳව කෙරී ඇති සුවිශේෂම අධ්‍යයනය වශයෙන් සැලකිය හැකි අතර, ගොන්සාල්වෙස් පියතුමන්ගේ සාහිත්‍යය ව්‍යාපාරය පිළිබඳව වැදගත් නිගමනයන් ඒ තුළින් මතු කරලීමට ඔහු සමත් වී ඇත. ඒ හා සමගාමීව පර්යේෂකයන් විසින් විවිධ වූ කාල පරාසයන් තුළ දී ගොන්සාල්වෙස් සාහිත්‍යය පිළිබඳව මූලික අවධානය යොමු කර ඇතත්, ගොන්සාල්වෙස් පියතුමාගේ ග්‍රන්ථ තුළින් මතු වන දේශීය සංස්කෘතික නිරූපණය සහ සන්නිවේදන ව්‍යාපාරය සහ ඒ ආශ්‍රීත පර්යේෂණ හිඩැසක් පවති. එබැවින් එම පර්යේෂණ හිඩැස අරඹයා මාගේ පර්යේෂය සිදු කිරීමට අපේක්ෂා කරමි.

තවද ඒ තුළින් එවකට ශ්‍රී ලංකාවේ පැවති දේශීය ජන සිරිත්, විශ්වාස, ඇදහිලි ක්‍රම, දේශපාලන තොරතුරු වැනි සංස්කෘතික ලක්ෂණ මෙන්ම ගොන්සාල්වෙස් පියතුමාගේ සන්නිවේදන ප්‍රතිභාව මෙම පර්යේෂණය තුළින් අධ්‍යයනය කිරීමට බලපොරොත්තු වෙමි.



Thursday, 1 June 2023

ජනසන්නිවේදන මහගෙදර - කැලණිය විශ්වවිද්‍යාලය


ප්‍රඥාවෙන් පාරිශුද්ධත්වයට පත් වීම ආදර්ශ පාඨය කරගත් කැලණිය විශ්ව විද්‍යාලය එකළ විසූ ශ්‍රේෂ්ඨ පැවිදි පඩි රුවනක් වන රත්මලානේ ශ්‍රී ධර්මාලෝක ස්වාමින් වහන්සේ විසින් විද්‍යාලංකාර මහ පිරිවෙණ ලෙස ආරම්භ කරන ලදී.එකළ පැවති ප්‍රධාන පිරිවෙණ් ආයතන ත්‍රිත්වය එනම්,

* විද්‍යෝදය පිරිවෙණ

*විද්‍යාලංකාර පිරිවෙණ

*රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙණ 

අතර ප්‍රභල පිරිවෙණක් ලෙස බැබළීමට විද්‍යාලංකාර පිරිවෙණට හැකිවිය.

ඉන් අනතුරුව 1959 ජනවාරි 01 සිට ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය ලෙස නම් කෙරුණි.ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ විද්‍යාලංකාර මණ්ඩපය ලෙස නම් වූ මෙම සරසවිය පසුව 1978 වසරේ අංක 16 දරණ පනත මගින් කැලණිය විශ්ව විද්‍යාලය-ශ්‍රී ලංකාව ලෙස නම් විය.  

දුරාතීතයේ පටන් සංදේශ කාව්‍යයන්ගෙන් පවා වර්ණනා වී ඇති කැලණි ගං මිටියාවතේ පිහිටා ඇති මෙරට සන්නිවේදකයන් බිහි කිරීමෙහිලා කලාවේ මහ උල්පත ලෙසින් සැලකෙන කැලණිය විශ්ව විද්‍යාලයට ලාංකේය සරසවි අතර හිමිවන්නේ හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.මෙම කතාවට මුල පිරෙන්නේ මීට වර්ෂ ගණනාවකට එපිටිනි. ඒ  හැත්තෑව දශකයයි.එකල මෙරට වාතාවරණය එතරම් සුභදායී නොවුණි.රැකියා විරහිත තරුණ තරුණියන් රජයට විරුද්ධව අරගල කරන්නට විය.මේ නිසාම වෘත්තීන් අරමුණු කරගත් එනම් වෘත්තියාභිමුඛ්‍ය පාඨමාලා සහ විෂයන් මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් කිරීමට එකළ පාලකයෝ ක්‍රියා කළහ.එකළ අධ්‍යාපන අමාත්‍යවරයා වූ ඊරියගොල්ල මහතා සහ ආචාර්‍ය එඩ්වින් ආරියදාසයන්ගේ මැදිහත් වීමෙන් ලංකාවට මාධ්‍ය අධ්‍යන විෂය හදුන්වා දුනි.


කලකට පසුව 1973 දී කැලණිය විශ්ව විද්‍යාලයට Mass Communication නම් නව විෂය පැමිණියේය.එම විෂයේ ආගමනයත් සමග මෙම ඉංග්‍රීසි වචනයට සුදුසු සිංහල වචනයක් ලාංකේය සිංහල උගතුන් නිර්මාණය කරන ලදී.එම වචනය නම් "ජන සන්නිවේදනය" යි.ජන සන්නිවේදන අධ්‍යනාංශය නමින් නව අධ්‍යන අංශයක් කැලණි සරසවියේදී ඇරඹුණි.

ප්‍රධාන වශයෙන් අභ්‍යන්තර කථිකාචාර්‍යවරු දෙදෙනෙකුගෙන් හා බාහිර කථිකාචාර්‍යවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් විද්‍යාර්ථයින්ට දැනුම ලැබුණි.අද වර්තමානය වන විට ජාත්‍යන්තර කීර්තිය දිනා ඇති මහාචාර්‍ය විමල් දිසානායකයන් සහ මෙරට ජේෂ්ඨතම මහාචාර්‍යවරයෙකු වන සුනන්ද මහේන්ද්‍රයන් එකී ජන සන්නිවේදන අධ්‍යනාංශයේ ප්‍රථම අභ්‍යන්තර කථිකාචාර්යවරු විය.බාහිර කථිකාචාර්‍යවරුන් වශයෙන් 

* ආචාර්‍ය එඩ්වින් ආරියදාස

* කේ.ජයතිලක

* ඩී.බී.නිහාල්සිංහ

* ඩබ්.ඩී.අමරදේව 

යන විවිධ විෂය ක්ෂේත්‍රයන්හි ප්‍රාමාණිකයින් විද්වතුන් මෙහි ඉගැන්වීම් කටයුතුවල යෙදුනහ.සිංහල,දමිළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම ඇරඹි මෙම අධ්‍යනාංශයේ වර්තමානය වන විට ක්‍රියාත්මක වන්නේ සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය ද්විත්වය පමණි.

ශ්‍රී ලාංකේය විශ්ව විද්‍යාල සංස්කෘතියේ ප්‍රථම සහ එකම මාධ්‍ය උලෙළ වන "සංජනනී" මාධ්‍ය උලෙළ කැලණිය සරසවියෙන් බිහිවූවකි.එමෙන්ම විවාද තරගාවලි සහ නොයෙක් අංශයන්හි තරග තුළින් මෙරට විශ්ව විද්‍යාල පද්ධතියේ සුවිශේෂී ස්ථානයක් හිමි කර ගැනීමට කැලණිය විශ්ව විද්‍යාලය සමත් විය.

 අද වන විට දස දිග පුරා විසිරී පැතිරී සිටින සන්නිවේදකයන් බොහෝමයක් කැලණි සරසවියේ විද්‍යාර්ථයින් වීම විශේෂත්වයකි.ඒ අතර රූපවාහිනී ගුවන්විදුලි නිවේදකයන්,පිටපත් රචකයින්,සිනමා අධ්‍යක්ෂකවරුන්,මාධ්‍ය වැඩසටහන් නිෂ්පාදකවරුන් ප්‍රධාන වේ.

මෙලෙසින් ජන සන්නිවේදන අධ්‍යනාංශයෙන් සිදු වන මහගු මෙහෙවර කියා නිමකළ නොහැකිය.සරසවිය වැඩ වෙසෙන කැලණි සරසවියේ සොදුරු සන්නිවේදයන් තනන ජන සන්නිවේදන අධ්‍යනාංශයට තවත් චිරාත් කාළයක් දෙස් විදෙස් පතල කීර්තිමත් සන්නිවේදකයින් බිහි කරන්නට ලැබේවායි ඉති සිතින් ප්‍රාර්ථනා කරමු.


සිනෙත් දින්සර

13 කලා

සාන්ත ජෝසප් විදුහල, නුගේගොඩ 



කවුද මේ Social Media Influencers කියන්නේ?

  කවුද මේ Social Media Influencer කියන්නේ? 🏷️සමාජයේ ජීවත් වන පුද්ගලයන්ගේ මතවාද සකස් කිරීමට දායක වන පිරිස් ජනමත නායකයින් හෙවත් Public Opinio...