Monday, 12 August 2024

කාන්තාවගේ ලිංගිකමය ගුණය මාධ්‍ය විසින් උත්කර්ෂයට පත් කිරීම කාන්තාව අවප්‍රමාණ කිරීමක් ද?

 

කාන්තාවගේ ලිංගිකමය ගුණය මාධ්‍ය විසින් උත්කර්ෂයට පත් කිරීම කාන්තාව අවප්‍රමාණ කිරීමක්  ද?


යම්කිසි භාෂාවක් ලිවීමට සහ කියවීමටත්, භාෂාවේ අර්ථ නිසි පරිදි අවබෝධ කර ගැනීමටත් පුද්ගලයා දක්වන සමත්කම සාක්ෂරතාව වශයෙන් හැදින්වේ. නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්ති බලාත්මක වීම නිසා දකුණු ආසියානු කලාපයේ උසස් සාකච්ඡාවක් හිමි රටක් බවට පත්වීමට ශ්‍රී ලංකාවට හැකියාව හිමි ව තිබේ. සාක්ෂරතාව භාෂාවට පමණක් ලඝු නොකළ යුතුය. ආර්ථික සාක්ෂරතාව, දේශපාලන සාක්ෂරතාව, පරිගණක සාක්ෂරතාව, තාක්ෂණික සාක්ෂරතාව, නීතීමය සාක්ෂරතාව ආදී වශයෙන් මෙම සංකල්පය පුළුල්ව සාකච්ඡා කළ හැකිය. ඒ අනුව පෙනී යන්නේ යම්කිසි විෂයක් පිළිබඳ ව පුද්ගලයා තුළ පවතින දැනුම සාක්ෂරතාව වශයෙන් නිර්වචනය කළ හැකි බවයි.

විචාරය සහ සාක්ෂරතාව අතර පවතින්නේ අවියෝජනීය සම්බන්ධයකි. යම් දෙයක ගුණ අගුණ අවබෝධ කර ගැනීමට නම් පුද්ගලයා තුළ විචාරශීලී බව පැවතිය යුතුයි. යම් නව කතාවක් කියවීම සාක්ෂරතාව වන අතර, එම නව කතාව පිළිබඳ ගුණ දොස් දැක්වීම විචාරය වශයෙන් පෙන්වා දිය හැකිය. ඒ අනුව පෙනී යන්නේ සාක්ෂරතාව මූලික කරගෙන විචාරය ගොඩනැගෙන බවයි.

මාධ්‍ය සන්දේශයක් තුළ පවතින සැබෑ අර්ථය අවබෝධ කර ගැනීමට පුද්ගලයා තුළ මාධ්‍ය සාක්ෂරතාව පැවතිය යුතුයි. ප්‍රවෘත්ති, ටෙලි නාට්‍ය, දැන්වීම්, ගීත, පුවත්පත් ලිපි, චිත්‍රපට, වීඩීයෝ, නව කතා, කෙටි කතා ආදී සියල්ල ම මාධ්‍ය සන්දේශ වශයෙන් හුවා දැක්විය හැකිය. මෙම මාධ්‍ය සන්දේශ මගින් පුද්ගලයා වෙත එල්ල කරන බලපෑම අවබෝධ කර ගැනීමට මාධ්‍ය සාක්ෂරතාව අවශ්‍ය වේ. ඒ අනුව " මාධ්‍ය සන්දේශ ලබා ගැනීම, විශ්ලේෂණය කිරීම, ඇගයීම, නිර්මාණය කිරීම" මාධ්‍ය සාක්ෂරතාව වශයෙන් හැදින්විය හැකිය. මාධ්‍ය විචාරය වශයෙන් ඉහත දක්වන ලද මාධ්‍ය සන්දේශ තුළ පවතින ගුණ දොස් පෙන්වා දීම මාධ්‍ය විචාරය වේ. මාධ්‍ය බලපෑමෙන් ආරක්ෂා වීමට නම් ග්‍රාහකයා විචාරශීලී ග්‍රාහකයෙක් බවට අනුවර්තනය විය යුතුයි. එසේ නම් මාධ්‍ය සන්දේශයක් තුළ පවතින ගුණ දොස් මැනීම සදහා පිළිගත් මිනුම් දඩු පවති. ඒවා මාධ්‍ය විචාර දෘෂ්ටිවාද වශයෙන් පෙන්වා දිය හැකිය. සරලාර්තයෙන් ගත් විට මෙම දෘෂ්ටිවාද පුද්ගලයා මාධ්‍ය සන්දේශ කියවීමට භාවිත කරන උපැස් යුවලක් වශයෙන් පෙන්වා දිය හැකිය. ඒ ඒ දෘෂ්ටිවාද උපැස් යුවල හරහා ඔබට අදාළ මාධ්‍ය සන්දේශයේ දෘෂ්ටිවාදයට අදාළ කොටස් දැක බලාගත හැකිය. එසේම එකම මාධ්‍ය සන්දේශයක් දෘෂ්ටිවාද කිහිපයක් ඔස්සේ විචාරයට ලක් කිරීම ද සිදු කළ හැකිය. එවැනි දෘෂ්ටිවාද කිහිපයක් පහත පරිදි වේ.

1. ස්ත්‍රීවාදී මාධ්‍ය දෘෂ්ටිවාදය

2. මාක්ස්වාදී මාධ්‍ය දෘෂ්ටිවාදය

3. මනෝ විශ්ලේෂණ මාධ්‍ය දෘෂ්ටිවාදය

මෙම ලිපිය මගින් ස්ත්‍රීවාදී දෘෂ්ටිවාදය පිළිබඳ ව සන්නිදර්ශන ඇසුරෙන් සාකච්ඡා කෙරේ.

ස්ත්‍රීවාදී දෘෂ්ටිවාදය තුළ පවතින කේන්ද්‍රීය තේමාව බවට පත්වන්නේ මාධ්‍ය තුළ කාන්තාව අවප්‍රමාණ කිරීමයි. අවප්‍රමාණ කිරීම වශයෙන් අසාධාරණයට ලක් වීම, නොසළකා හැරීම, හෑල්ලුවට ලක් කිරීම, අපහාසයට ලක් කිරීම, ගර්හාවට ලක් කිරීම ආදී අර්ථ පවති. අවප්‍රමාණය යන වචනයේ අනුලෝම වචනය බවට පත්වන්නේ ප්‍රමාණ කිරීම යන්නයි. එහි අර්ථය නිසි ගෞරවය ලබා දීම,  සාධනීය ස්ථානයක් ලබා දීම ආදියයි.

මාධ්‍ය සන්දේශ ගත් විට බොහෝ විට පුවත්පත, ගුවන්විදුලිය, රූපවාහිනී ආදී මාධ්‍ය තුළින් මෙම ලක්ෂණ මනාව මතු කරගත හැකිය. වර්තමානයේ ජනමාධ්‍ය මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන කාන්තා රූපලාවණ්‍ය දැන්වීම් මගින් කාන්තාවට සම පැහැපත් කර ගැනීම, Dark Spot ඉවත් කර ගැනීම, සම රන්වන් පැහැ කර ගැනීම, සුන්දර කෙස් කළඹක් ලබා ගැනීමට ආරාධනා කරයි. මෙම දැන්වීම් හරහා සිදු වන්නේ කාන්තාවගේ පවතින ලිංගිකමය ගුණය ඔප් නැංවීමට කටයුතු කිරීමයි. ඒ අනුව සමාජයේ කාන්තාව බෝනික්කන් බවට පත් කිරීමට මාධ්‍ය කටයුතු කරයි. එසේම කාන්තාව පිළිබඳ ව මාධ්‍ය හරහා මවා පෙන්වන සංකල්ප තුළ දී ද කාන්තාවගේ මෙම ලිංගිකමය ගුණය, සුරූපී බව ඔප් නංවයි. නිදසුනක් වශයෙන් ටෙලි නාට්‍ය තුළ දී අපට දක්නට ලැබෙන මව, බිරිඳ, සහෝදරිය තුළ ඉහත දක්වන ලද ලිංගිකමය ගුණය උත්කර්ෂවත් ආකාරයෙන් පෙන්වා දෙයි. මෙවැනි දැන්වීම් සහ ටෙලි නාට්‍ය නරඹන කාන්තාවට අවශ්‍ය වන්නේ තමාගේ සුරූපී බව වර්ධනය කර ගැනීමයි. මින් සමාජයට හිමිවන්නේ ලද බොළඳ කාන්තාවන් ය. එසේම කාන්තාව තුළ පවතින මෙම ලිංගිකමය ගුණය ඉස්මතු වීම නිසා කාන්තාවට සමාජයේ හිමිවන්නේ නිසි ස්ථානය නොවේ. ඒ අනුව පෙනී යන්නේ ලාභය උදෙසා කාන්තාව ලිංගිකමය භාණ්ඩයක් සහ වෙළෙඳ භාණ්ඩයක් බවට මාධ්‍ය පත් කරන ආකාරයයි. මේ අනුව පෙනී යන්නේ මාධ්‍ය තුළ කාන්තාව අවප්‍රමාණ කිරීමයි.

ස්ත්‍රීවාදී මාධ්‍ය විචාරය තුළ දී කාන්තා චරිතය මාධ්‍ය තුළ ඒකාකෘතික ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කරනු ලබයි. බහුතරයක් ටෙලි නාට්‍යවල මව, බිරිඳ වැනි චරිත නිවසට කොටු වී සිටින, ගෙදර වැඩ කරනු ලබන, ස්වාමියාගේ පීඩාවට පත් වන, සමාජ අසාධාරණයට ලක්වන, දරුවන් හදා වඩා ගන්නා චරිත වශයෙන් හුවා දක්වයි. ඉන් මාධ්‍ය උත්සාහ කරන්නේ කාන්තාව එක් රාමුවකට සීමා කිරීමටයි. එය මාධ්‍ය තුළ කාන්තාව ඒකාකෘතික කිරීමකි. එසේම දැන්වීම් තුළ දී සුරූපී ලද බොළඳ කාන්තාවක් නිර්මාණය කිරීම හේතුවෙන් කාන්තාව තමන්ගේ උපරිම විභව ශක්තිය භාවිත නොකරයි. ඒ අනුව ද කාන්තාව සුරූපී යන රාමුවට කොටු කරනු ලබයි. මේ නිදර්ශන ඇසුරෙන් පෙනී යන්නේ කාන්තාව ඒකාකෘතික කිරීමට මාධ්‍ය යත්න දරන ආකාරයයි.

කාන්තාව සෘජු ව සංවර්ධනය ක්‍රියාවලියට සම්බන්ධ කරගත හැකිය. කාන්තාවගේ ශක්තීන් රටේ සංවර්ධනයට යොදාගත හැකිය. කාන්තාවගේ හැකියාවන් ප්‍රවර්ධනය වන ආකාරයෙන් මාධ්‍ය සන්දේශ නිර්මාණය කළ යුතුයි. නමුත් සංවර්ධනය වෙර දරන කාන්තාවකට වඩා මාධ්‍ය විසින් නිර්මාණය කරනු ලබන්නේ අව්වට වැස්සටවත් ඔරොත්තු නොදෙන බොනික්කන් ය. මේ අනුව නැවත පෙනී යන්නේ මාධ්‍ය තුළ කාන්තාව අවප්‍රමාණ කිරීමක් වේ.

මාධ්‍ය සන්දේශ තුළ දී ස්වභාවික කාන්තා ප්‍රතිරූපය මුළුමනින්ම විනාශයට ලක් කරමින් කෘතිම කාන්තා ප්‍රතිරූප නිර්මාණය කරනු ලබයි. බොහෝ දැන්වීම්වල දී අපට හමුවන මව, බිරිඳ, පෙම්වතිය සහ සහෝදරිය ස්වභාවිකත්වය ඉක්මවා ගිය චරිත බවට පත් වී ඇත. ඒ අනුව පෙනී යන්නේ ස්වභාවිකත්වයට එහා ගිය ස්ත්‍රී චරිත මාධ්‍ය මගින් නිර්මාණය කරන බවයි. තවද එම ස්ත්‍රීන් සැබෑ සමාජයේ සෙවීමට කටයුතු කිරීම ද ඛේදවාචකයකි.

මේ සෑම ආකාරයෙන් ම පෙනී යන්නේ ස්ත්‍රීත්වය පිළිබඳ වටිනාකම් වෙනස් කරමින් මාධ්‍ය විසින් සිය ලාභ උපයා ගැනීමට ස්ත්‍රීය භාවිත කරන ආකාරයයි. මාධ්‍ය මගින් ස්ත්‍රීත්වය තුළ පවතින වටිනාකම් සමාජය තුළ ස්ථාපිත කිරීමට ක්‍රියා කළ යුතුය. ස්ත්‍රීයගේ හැකියාවන්, විභවතාවන් හදුනා ගැනීම සිදු කළ යුතුයි.

දමිත් සුමේන්ද්‍ර පෙරේරා
MSSC (Reading), BA (Hons) Mass Communication, University of Kelaniya.
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය භාර ආචාර්ය
සාන්ත ජෝසප් විදුහල, නුගේගොඩ

Monday, 5 August 2024

මැන්ජා ප්‍රජාව

ශ්‍රී ලාංකේය අප්‍රිකානු ප්‍රජාව හෙවත් මැන්ජා ප්‍රජාව 



සෑම පුද්ගලයෙක් ම සමාජීය සත්ත්වයෙක් වශයෙන් යම්කිසි ප්‍රජාවකට අයත් වන්නෝය. එසේම එම ප්‍රජාවන් සතු ව ඔවුන්ට ම ආවේණික වූ සංස්කෘතිමය රාමුවක් පවති. එම සංස්කෘතික රාමුව විසින් ඔවුන්ගේ අනන්‍යතාවය පිළිඹිබු කරයි. සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික, හින්දු, බෞද්ධ ආදි වශයෙන් එම ප්‍රජා කණ්ඩායම් පෙන්වා දිය හැකිය. සෑම අවස්ථාවක් තුළ දී ම යම්කිසි පොදු ලක්ෂණයක් හේතුවෙන් පුද්ගලයින් සමූහයක් තුළ සමානතා ලක්ෂණ පෙන්නුම් කරන විට එම පිරිස පොදුවේ ප්‍රජාවක් වශයෙන් අර්ථකථනය කරයි. මෙම ලිපිය තුළින් ශ්‍රී ලංකාවේ ජීවත් වන අප්‍රිකානු සම්භවයක් සහිත ශ්‍රී ලාංකිකයන් පිළිබඳ සාකච්ඡාවට බදුන් කෙරේ. 


බටහිර ජාතීන් වන පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි පාලන සමයන්වල දි මෙරට වහල් සේවය සදහා විවිධ වූ රටවල ප්‍රජාවන් මෙරටට ගෙන එන ලදි. එම ප්‍රජාවන් අතර දකුණු ඉන්දීය දමිළ ප්‍රජාව ජනප්‍රිය තලයේ වෙසෙයි. නමුත් පෘතුගීසි පාලන සමයේ දී ශ්‍රී ලංකාවට ගෙන එන ලද අප්‍රිකානු ජනතාව පිළිබඳ ව සමාජය තුළ පවතින්නේ අල්ප දැනුම්වත්භාවයකි. 1505න් පසුව ශ්‍රී ලංකාවට ගෙන එන ලද අප්‍රිකානු ප්‍රජාව විවිධ නගරවල සේවය සදහා යොමු කරන ලදි. එම අප්‍රිකානු ප්‍රජාව වර්තමානයේ දී "Ceylon Affrican Manja" වශයෙන් හදුන්වා දෙයි. මැන්ජා ප්‍රජාව පිළිබඳ ව ශාස්ත්‍රාලීය අධ්‍යයන සිදු වන නමුත් එය ප්‍රමාණවත් මට්ටමක නොපවතී. මුල් යුගයේ දී බටහිර ජාතීන් විසින් මෙරට සේවයට ගෙන එන ලද අප්‍රිකානු ප්‍රජාව නැවත අප්‍රිකාවට ගෙන යන මුත්, ඇතැම් අප්‍රිකානු පිරිස් මෙරට ජාතීන් සමග විවාහ වී සිටීම හේතුවෙන්, යම් පිරිසක් මෙරට සිය වාසස්ථානය වශයෙන් තෝරා ගන්නා ලදි. එම ප්‍රජාව ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල වර්තමානයේ වාසය කරයි. අගනුවර ප්‍රදේශයවල සහ රට අභ්‍යන්තර ප්‍රදේශවලත්, මීගමුව ප්‍රදේශයෙත්, පුත්තලමේ සිරම්බිඅඩිය ප්‍රදේශයෙත් මෙම අප්‍රිකානු ප්‍රජාව වර්තමානයේ හදුනාගත හැකිය. මෙම ලිපිය සදහා දත්ත ලබා ගැනීමට පුත්තලමේ සිරම්බිඅඩිය ප්‍රදේශයේ මැන්ජා ප්‍රජාව සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවක් භාවිත කෙරේ. 


පුත්තලම ප්‍රදේශයේ සිරම්බිඅඩිය ගම්මානයක් ලක්ෂණ පෙන්නුම් කරන යම්තාක් භෞතික වශයෙන් ගැටලු උද්ගත වූ ප්‍රදේශයකි. මෙම ගම්මානය තුළ අප්‍රිකානු සම්භවයක් සහිත මැන්ජා ප්‍රජාව වාසය කරයි. සීමා සහිත පවුල් සංඛ්‍යාවකින් සමන්විත මෙහි පරම්පරාව තුනක් වර්තමානයේ වාසය කරනු ලබයි. ආර්ථික වශයෙන් මෙම ප්‍රජාව ප්‍රදේශයේ කර්මාන්ත ශාලවල සේවය කරනු ලබයි. තවද එහිලා නිවසේ වෙසෙන සියලු ම සාමාජිකයන් සහභාගී වෙයි. ඇතැම් අවස්ථාවවල වයෝවෘද්ධ පිරිස් පමණක් නිවස තුළ සිටියි. 


මැන්ජා ප්‍රජාව සිරම්බිඅඩිය ප්‍රදේශයේ ජීවත් වීමේ දී හදුනාගත හැකි සුවිශේෂ ලක්ෂණයක් වන්නේ සෙසු ප්‍රදේශවාසීන්ගෙන් දුරස් වූ බවයි. ඇතැම් අවස්ථාවන්හි දී ඔවුන්ගේ සාකච්ඡාවලින් හෙලිදරව් වන්නේ සමාජමය වශයෙන් ඔවුන්ට අඩු සැළකිල්ලක් හිමිවන ආකාරයයි. මැන්ජා සංස්කෘතිය  අනාගත පරම්පරාව වෙත සම්ප්‍රේෂණය කිරීමේ දී පළමු සහ දෙවන පරම්පරාව වැදගත් වේ. නමුත් තුන්වැනි පරම්පරාවේ අයවලුන් විසින් ප්‍රමාණවත් ආකාරයෙන් සංස්කෘතිය පැතිරවීමට කටයුතු කරන ආකාරය හදුනාගත නොහැකිය.


මැන්ජා ප්‍රජාව විසින් ඔවුන්ගේ කණ්ඩායමේ සාමාජිකයන් සමග සමූහ සන්නිවේදන කාර්‍යයේ නියැළෙයි. ඔවුන් විසින් සමූහයක් වශයෙන් ඔවුන්ගේ සංස්කෘතිය සෙසු ප්‍රජාවන් වෙත ගෙන යාම උදෙසා කුඩා කණ්ඩායම් සන්නිවේදනයේ නියැළෙයි. ප්‍රජාවක් වශයෙන් මැන්ජා ප්‍රජාව තුළ පවතින සන්නිවේදනාත්මක ක්‍රියාවලිය ඔවුන්ගේ සංස්කෘතිය අන් ප්‍රජාවන් වෙත සන්නිවේදනය කිරීමටත්, සංචාරකයන් හට සිය සංස්කෘතික ක්‍රියාකාරකම් ඉදිරිපත් කිරීමටත් භාවිත කරයි.


දමිත් සුමේන්ද්‍ර පෙරේරා

Wednesday, 19 July 2023

ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා


ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා

මානව වංශ කතාව තුළ ආරම්භයේ සිටම මානවයා විසින් තමන්ගේ පරිසරය සහ සාමාජිකයන් අතර අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධතාව පවත්වා ගනිමින් යහපත සහ අයහපත පිළිබඳ නිවැරදි දේ හඳුනාගනිමින් ජීවත් වන්නට වූයේ ය. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටි මානවයා දියුණු මානව කොටසක් බවට පරිණාමය වන්නට වූයේ මානවයා ශිෂ්ටාචාරගත වීමත් සමඟ ය. එසේ ශිෂ්ටාචාරගත වීමත් සමඟ මානවයා විවිධ වූ සාමාජීය හා පරිසරාත්මක අංගයන් සමඟ සම්බන්ධ වෙමින් ඔවුන්ගේ පරිසරය සහ වටපිටාව තේරුම් ගැනීමට මෙන්ම ඒ සමඟ සහසම්බන්ධතාව පැවැත්වීමට උත්සහ ගත් අතර ඒ තුළින් ‘සංස්කෘතිය’ නම් වූ ප්‍රපංචයේ ප්‍රාරම්භය සිදු වන්නේ ය. එබැවින් මානවයා සංස්කෘතියේ නිර්මාතෘවරයා මෙන්ම වාහකයා වශයෙන් සුවිශාල කාර්යය භාර්යයක් සිදු කරන අතර, යුගයෙන් යුගයට මානව සංස්කෘතියේ විවිධ වූ පරිණාමයන් ඇති වන්නට විණි. එබැවින් සංස්කෘතිය, මිනිසා හා සාමාජීය පරිසරය අතර ගොඩනැඟෙන්නක් වන බැවින් ප්‍රදේශයෙන් ප්‍රදේශයට, යුගයෙන් යුගයට සංස්කෘතිය නම් වූ ප්‍රපංචයේ ගතික බව මනාව පිළිඹිබු වන්නේ ය. එම සංස්කෘතියෙහි උත්පත්තිය මානව වංශ කතාවේ ආරම්භය එනම්, මිනිසාගේ ඉතිහාසය දක්වා පැරණි වන බව ඇල්ෆඩ් ක්‍රෝබර් සහ ක්ලයිඩ් ක්ලක්හෝන් පෙන්වා දෙයි. ‘සංස්කෘතිය මිනිසා විසින් නිර්මාණය කර ගන්නා ලද දෙයකි’ (ක්‍රෝබර් සහ ක්ලක්හෝන්:1952).

සංස්කෘතිය සහ මිනිසා අතර පවතින්නේ අවියෝජනීය සබඳතාවකි. ඒ මන්දයත් සංස්කෘතියෙහි නිර්මාපකයා සහ සංස්කෘතියේ ප්‍රධාන වාහකයා මිනිසා වන බැවිනි. එබැවින් සංස්කෘතිය මිනිසාගෙන් සහ සාමාජිය පරිසරයෙන් ව්‍යුක්තව තේරුම් ගත නොහැක. සංස්කෘතිය මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් වන බැවින් සංස්කෘතියෙහි සංරචක සහ මානවයා අතර පවතින්නේ ද අවියෝජනීය සබැඳියාවකි. තවද මානව දිවිය සහ සංස්කෘතිය අතර පවතින සහසම්බන්ධතාවය ඉන් නිරූපණය වේ. “සංස්කෘතිය හෝ සභ්‍යත්වය යනු, ඇදහිලි, කලා, නීති රීති, සදාචාර, සිරිත් විරිත්, සමාජයේ ජීවත් වන පුද්ගලයෙකු ලෙස ලබාගත් අනෙකුත් කුමන ආකාරයේ හෝ පුරුදු, හැකියාවන් ඇතුළු සංකීර්ණ සමස්ථය යි ”(ටයිලර්:1971). මිනිසාසාමාජීය වශයෙන් ලබා ගන්නා සියලුම අංගයන්, හුරු පුරුදු, ආකල්ප, සිරිත් විරිත්, ආගම, සෞන්දර්්‍ය ආදි තවත් බොහෝ දෑ සංස්කෘතිය නම් වු ප්‍රපංචයේ සංරකයන් වෙති. එබැවින් සංස්කෘතිය වටහා ගැනීම තුළින් මානව සමාජය පිළිබඳව පුළුල් වූ අවබෝධයක් ලබා ගත හැකිය. “සංස්කෘතිය යනු, සමාජයක හෝ සමාජ කණ්ඩායමක ලක්ෂණ පෙන්වන ආවේණික වූ ආත්මික, භෞතික, බුද්ධිමය සහ හැඟීම් ඇතුළු සංකීර්ණ අංගයන්ගෙන් සමන්විත වූ දෙයකි. එයට කලාව සහ අකුරු පමණක් නොව ජීවන ක්‍රමය, මානවයාගේ මූලික අයිතිවාසිකම්, අගයන් සම්ප්‍රදායන් සහ ඇදහිලි ඇතුළත් වෙයි” (සංස්කෘතික ප්‍රතිපත්තිය පිළිබඳ මෙකේසිකෝ සිටි ප්‍රඥප්තිය:1982). සංස්කෘතිය පිළිබඳ පර්යේෂණ සිදු කර ඇති ප්‍රධාන පෙළේ පර්යේෂකයන් සියලුම දෙනාගේ පාහේ සංස්කෘතික නිර්වචනයන් කේන්ද්‍රගත වන්නේ ‘සංස්කෘතිය මිනිසා විසින් සමාජීය බලපෑම මත නිර්මාණය කර ගන්නා ලද උසස් ජීවන රටාවක් ’ යන මූලික අදහස වෙතටයි. එමනිසා මිනිසාගේ සමාජයේ එදිනදා ඔවුනට හමුවන දෑ සංස්කෘතිය තුළින් නිරූපණය වන්නට විය. “ඕනෑම සංස්කෘතියක් තුළින් විවිධ අංගෝපාංග නිර්මාණය වේ. ඒ අනුව භාෂාව, ආගම, අනන්‍යතාවය, ජාතිකත්වය, සිරිත් විරිත්, ගති පැවතුම්, පුරුෂාර්ථ, කලා නිමැවුම්, සෞන්දර්්‍ය නිර්මාණ, පරිසරය, ස්මාරක හා ගෘහ නිර්මාණ යනාදියෙහි සමස්තය සංස්කෘතිය නැමති සංකල්පය සඳහා විවිධ අරුත් සම්පාදනය කරයි” (අමාලි:2018).

සංස්කෘතියේ සංරචක අතර මිනිසා විසින් සිය රසවින්දනය උදෙසා නිර්මාණය කරගන්නා ලද කලාවට අද්විතිය ස්ථානයක් හිමි වෙයි. තවද වර්තමානය තෙක් සංස්කෘතික පරිණාමය මත, එම කලාවන් ද පරිණාමය වෙමින් නූතනය දක්වා පැමිණ ඇත්තේ ය. එසේම කිසියම් සමාජ පද්ධතියක සංස්කෘතිය නිරූපණය කිරීමට සහ ඒ පිළිබඳ ග්‍රාහකයාට දැනුම සන්නිවේදනය කිරීම ‘කලාව’ ට හැකි වන්නේ ය. “කලා කෘතීන්, සමාජ ක්‍රමය, චර්යා ධර්ම සහ වත්පිළිවෙත්, ආගම් ධර්ම යනාදියෙන් සංස්කෘතිය විදහා දැක්වෙයි” (එලියට්:1962). 

කලාව මිනිසා විසින්ම නිර්මාණය කරගන්නා ලද සංස්කෘතික සංරචකයක් වන අතර, කලාව තුළින් විද්‍යාමන වන්නේ ද මිනිසාගේ හෝ සමාජ කණ්ඩායමක් තුළ පැවති අපේක්ෂාවන් සහ අවශ්‍යතාවයන් ය. ඒ බව මහාචාර්ය ආරියරත්න ඇතුලයන් නූතන රංග භූමිය කෘතියේ දී දක්වන්නේ මෙසේ ය; “මිනිසා සතු කලාත්මක උරුමය මානව ස්වාභාවිකත්වයේම නිෂ්පත්තියකි. කලාව  විශ්ව ක්‍රියාදාමයක් වන්නේ ද එබැවිනි. කලාව යන වදන ලතින් භාෂාවෙන් නිර්මාණය වූවක් වන අතර එහි මුල් තේරුම ‘කුසලතා හා ශිල්පීය’ යන්න යි. කලාව යන්නෙහි සරල වචනාර්ථය එසේ වුවත් කලාව මානව අධ්‍යයන විෂය කේෂත්‍රයේ පෘථුල පරිධියක් ආවරණය කරයි.” කලාව මානව අධ්‍යයන විෂය පථය අධ්‍යයනය කිරීම උදෙසා වඩාත් සුදුසුම ප්‍රවේශයක් වන බැවින් එම කලාව තුළ පවතින වචන, රූප, ශබ්ද වූ ත්‍රිවිධ ආකාරයන් තුළින් මානව සමාජය තුළ පවතින ආගමික, දේශපාලනික, ආර්ථික යනාදි බොහෝ සාමාජීය අංගයන් වෙත ප්‍රවේශ වීමේ හැකියාව පවතින්නේ ය.

එම කලාවේ පැවති වචන තුළින් නිර්මාණය වූ සාහිත්‍යය කලාවේ එක් නිරූපණ අවස්ථාවක් වන අතර ආදි යුගයේ පටන් වාචිකව පැවති සාහිත්‍යය පසුකාලීනව ග්‍රන්ථකරණය හරහා සංස්කෘතිය වෙත පැමිණෙන්ට වූ අතර සාහිත්‍යය අධ්‍යයනය තුළින් ද කිසියම් හෝ ප්‍රදේශයක, යුගයක සංස්කෘතික ලක්ෂණ පිළිබඳ පෘථුල අවබෝධයක් ලබා ගත හැක්කේ ය. එබැවින් සාහිත්‍යය අධ්‍යයනය තුළින් ලැබෙන්නා වූ දත්තයන් මත දේශීය සහ විදේශීය වශයෙන් කිසියම් වූ කාල සීමාවක සමාජ පරිසරය පිළිබඳ මනා වූ තොරතුරු සමූහයක් වෙත පිවිසිය හැකි වන්නේ ය. ‘තොරතුරු, අධ්‍යාපනය, විනෝදාස්වාදය හා අභිප්‍රේරණ කාර්යය උදෙසා සාහිත්‍යය රචනා වී ඇති ආකාරය අනුව එකී සාහිත්‍යය යුගයන්හි පැවති සමාජ, ආර්ථික, දේශපාලන ලක්ෂණ ප්‍රකට කෙරේ’ (අමාලි:2016). සංස්කෘතික සන්නිවේදන විෂය පථයේ දී සංස්කෘතිය නිරූපණය වන අවස්ථාවක් බවට සාහිත්‍යය පත් වන අතර, සාහිත්‍යය මගින් පුළුල් සංස්කෘතික දැනුමක් ග්‍රාහකයා වෙත ලබා ගත හැකි වන්නේ ය. සාහිත්‍යය මගින් කිසියම් කාල සීමාවක දී යම් තොරතුරක් හෝ පණිවිඩයක් ඉලක්කගත ග්‍රාහක පිරිසකට සන්නිවේදනය කිරීමට උත්සහ ගත් අතර, එය සන්නිවේදනාත්මක කාර්යයකි. එබැවින් සාහිත්‍යය මගින් සන්නිවේදනය වන තොරතුරු මත පදනම්ව සංස්කෘතික ගති ලක්ෂණ මැනවින් හඳුනාගත හැකි වන්නේ ය.

‘සංස්කෘතිය සන්නිවේදනය යි’ (විලියම්ස්:1960). සංස්කෘතිය මගින් දේශපාලන, ආර්ථික, සමාජීය කරුණු නිරූපණය කරනු ලැබීම නිසා සංස්කෘතිය යනු, සන්නිවේදන කාර්යයකි. ‘දෙපාර්ශවයක් අතර එක හා සමාන මානසික තත්ත්වයක් ඇති වන්නේ නම් එය සන්නිවේදනය යි’ (ශ්‍රාම්:1982). පුද්ගලයින් දෙදෙනෙකු අතර මෙන්ම පුද්ගල කණ්ඩායම් අතර එක හා සමාන මානසික තත්ත්වයක් ඇති වන්නේ ඔවුන් එක හා සමාන සංජානනයක් ලැබූ විට දී ය. එවිට සන්නිවේදකයා සහ ග්‍රාහකයා අතර මනා වැටහීමකින් යුතුව, එක හා සමාන අත්දැකීම් පරිසරයක් තුළ යහපත් සන්නිවේදන කාර්යයක නියැළීමට හැකි ය. ඒ අනුව පුද්ගලයින් දෙදෙනෙකු හෝ කණ්ඩායමක් අතර එක සංදේශයක් පිළිබඳව සමාන තේරුම් ගැනීමක් ඇති වීමට නම්, එම ප්‍රජාවන් අතර පවතින අත්දැකීම්, අධ්‍යාපනය සහ සංස්කෘතිය යන සාධක එක හා සමාන විය යුතුය. විල්බර් ශ්‍රාම් දක්වන සන්නිවේදන ආකෘතියට පර්යේෂණ ගැටලුව ආදේශ කිරීමේ දී ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා විසින් කතෝලික ජනතාවගේ  සමාජ පරිසරය නිසියාකාරව වටහා ගැනීම නිසා එතුමාට සිය සන්නිවේදන කාර්යය වඩාත් සාර්ථක කර ගැනීමට හැකි විය. එබැවින් ගොන්සාල්වෙස් පියතුමාගේ ධර්මදූත ව්‍යාපාරය සාර්ථක වීමෙහිලා එතුමා භාවිතයට ගත් සන්නිවේදන ආකෘතීන් සුවිශාල දායකත්වයක් සපයනු ලැබීය.

තවද සන්නිවේදන කාර්යයේ දි පුද්ගලයින් දෙදෙනෙකු අතර එක හා සමාන මානසික තත්ත්වයක් ඇති කිරීම පිණිස හේතු වන්නේ අදාළ සංදේශය යි. සන්නිවේදකයා සහ ග්‍රාහකයා අතර සම්බන්ධය ගොඩනංවනු ලබන ප්‍රධාන සාධකය වන අතරම, ‘සංදේශය හෙවත් පණිවිඩය යනු සන්නිවේදන ක්‍රියාවලියේ දී සම්පූර්ණ විය යුතු ලක්ෂණ තුනෙන් එකකි’ (රාජපක්ෂ:2104). සංදේශය මූලික වශයෙන් සන්නිවේදනයේ අරමුණු වන තොරතුරු සම්පාදනය, විනෝදාස්වාදය ලබා දීම, අධ්‍යාපනය සහ පෙළඹවීම යන සිව් වැදෑරුම් කරුණු ග්‍රාහකයා වෙත ගෙන යනු ලබයි. එහිදි පෙළඹවීම සන්නිවේදනයේ ප්‍රධාන අරමුණකි. ‘මහජනතාව නොයෙකුත් සමාජීය, සංස්කෘතික හා දේශපාලන, ආර්ථික අවශ්‍යතා කෙරෙහි මහජනතාව පොළඹවා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වීම ජනමාධ්‍යයේ පුළුල් මෙන්ම අතිශය සියුම් ලෙස ක්‍රියාත්මක කෙරෙන කාර්යයකි’ (ජිනදාස:2015). ඒ අනුව ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමාගේ කාර්යාවලිය පර්යේෂණයට ලක් කිරීමේ දී පෙනී යන්නේ පෙළඹවීම නැමති සාධකය එතුමාගේ ග්‍රන්ථ මගින් නිරූපණය වන බවයි. එබැවින් ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා අනුගමනය කළ පුළුල් සන්නිවේදන ව්‍යාපාරය පිළිබඳ අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණයේ දී සිදු කෙරේ.

 ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමාගේ ග්‍රන්ථ තුළින් මතුවන දේශීය සංස්කෘතික සන්නිවේදන ලක්ෂණ තුළින් එවකට එනම්, ලන්දේසී පාලන සමය තුළ දී මෙරට පැවති දේශීය සංස්කෘතික සහ සන්නිවේදන ලක්ෂණ පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගත හැකි බව . තවද ඉහත දී දැක්වු ආකාරයට සාහිත්‍යය තුළින් සංස්කෘතිය නිරූපණය වන බැවින් උක්ත පර්යේෂණයේ දී එවකට ශ්‍රී ලංකාවේ පැවති දේශීය සංස්කෘතික සහ සන්නිවේදන ලක්ෂණ හඳුනාගත හැකි වන්නේ ය. ඒ මන්දයත් සංස්කෘතිය සහ සාහිත්‍යය අතර පවතින අවියෝජනීය සම්බන්ධතාව තුළින් උක්ත පර්යේෂණ මාතෘකාව පර්යේෂණයට ලක් කළ හැකි නිසාය.

සංස්කෘතික සන්නිවේදන විෂය ක්ෂේත්‍රය යටතේ  ආගමික සන්නිවේදනයට විශේෂිතව මෙම පර්යේෂණය සිදු කෙරේ. එහිදි පර්යේෂණ මාතෘකාවට ප්‍රස්තුතය වූයේ  රෝමානු කතෝලික පියතුමෙකු වන ඉන්දියානු ජාතික, කොණ්කණි බ්‍රහ්ම වංශිකගෞරවනීය ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමාගේ සාහිත්‍යය සේවාව යි. ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා විසින් ලන්දේසී පාලන සමයේ දී මෙරටට පැමිණ, සිංහල භාෂාව හදාරා ශ්‍රී ලාංකේය කතෝලික සාහිත්‍යයේ දියුණුව උදෙසා සාහිත්‍යකරණයේ නියැලුණු අතර ක්‍රි.ව. 1676 සිට ක්‍රි.ව. 1742 දක්වා කාලයේ දී එකි සාහිත්‍යයකරණය සිදු විය. ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමන් විසින් රචනය කරන ලද සාහිත්‍යය ග්‍රන්ථයන් පසුකාලීන පර්යේෂකයන් විසින් කොටස් තුනකට බෙදා වෙන් කොට දක්වයි. නමුත් එම වර්ගීකරණය තුළ ද පරස්පරතා ඇති බව පර්යේෂණයේ දී පෙනී යයි. එනම්, සුනිල් ආරියරත්නයන් විසින් ගද්‍ය කෘති, පද්‍ය කෘති සහ ගීත ප්‍රබන්ධ ලෙස එම වර්ගීකරණය පෙන්වා දෙන අතරම, ඇන්තනි ප්‍රනාන්දුපුල්ලේ පියතුමා පෙන්වා දෙන්නේ ගද්‍ය කෘති, පද්‍ය කෘති සහ නාට්‍ය යන තෙවැදෑරුම් වර්ගයන් ය.

කෙසේ නමුත් එම සියලුම වර්ගීකරණයන්ට යටත්ව ගොන්සාල්වෙස් පියතුමාගේ සමස්ත සාහිත්‍යය ග්‍රන්ථ සංඛ්‍යාව හතළිස් දෙකක් වන අතර, ඉන් විසි දෙකක් සිංහල භාෂාවෙන් ද පහළොවක් දෙමළ භාෂාවෙන් ද හයක් පෘතුගීසි භාෂාවෙන් ද ඕලන්ද භාෂාවෙන් එක් කෘතියක් ද වෙති. තවද ගොන්සාල්වෙස් පියතුමා විසින් ධර්ම ග්‍රන්ථවලට අමතරව ශබ්දකෝෂ කිහිපයක් ද නිර්මාණය කර ඇති අතර පෘතුගීසී-සිංහල, සිංහල-පෘතුගීසී, දෙමළ-සිංහල ආදී වශයෙන් ඒවා වෙති. තවද එම ශබ්දකෝෂයන් තුළින් ගොන්සාල්වෙස් පියතුමාගේ භාෂා නිපුණත්වය මනාවට නිරූපණය වන ආකාරය පෙනී යන්නේ ය.


ගොන්සාල්වෙස් පියතුමන් විසින් රචිත සිංහල ග්‍රන්ථ නාමාවලිය

 

1. දේව වේද පුරාණය

2. අඥාන ඖෂධය

3. භේදකාරයින්ගේ තර්කය

4. දේව වේද සංක්ෂේපය

5. ක්‍රිස්තියානි පල්ලිය

6. ඥානාංජනය

7. ප්‍රාතිහාර්්‍යාවලිය

8. වේද කාව්‍ය

9. ආනන්ද කලිප්පුව

10. සුකෘත දර්පණය

11. මංගල ගීතය

12. බුද්ධ බණ ප්‍රත්‍යක්ෂය

13. දේව නීති විසර්ජනය

14. සුවිශේෂ විසාධනය

15. දුක්ප්‍රාප්ති ප්‍රසංගය

16. ධර්මෝද්‍යානය

17. දේව පරිහාරිය

18. පසන් පොත

19. ලතෝනි පොත

20. දිනෝ භක්තිය

21. පව් පරීක්ෂාව 

මෙම අධ්‍යයනයේ දී ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා විසින් රචනය කරන ලද සිංහල ග්‍රන්ථ විසි දෙකෙන් තෝරාගත් ග්‍රන්ථ පහකට විශේෂිතව පර්යේෂණය සිදු කෙරේ. එබැවින් වේද කාව්‍යය, පසන් පොත, ආනන්ද කලිප්පුව, මංගල ගීතය සහ ලතෝනි පොත ආදි ග්‍රන්ථයෝ මෙම අධ්‍යයනයට සාධකයන් සපයති.

තවද ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා පිළිබඳ අධ්‍යයනය කිරීම කාලීන අවශ්‍යතාවයක් වන අතර එහිදි ගොන්සාල්වෙස් සාහිත්‍යය පිළිබඳ සිදු කර ඇති පර්යේෂණ එම වැදගත්කම උදෙසා හේතුපාදක විය. ගොන්සාල්වෙස් සාහිත්‍යය පිළිබඳ පර්යේෂණ සිදු කර ඇති ප්‍රමුඛ පෙළේ පර්යේෂකයන් රැසක් සිටිති. (එඩ්මන්ඩ් පීරිස්: 1905, දොන් පීටර්: 1991, එම්.එච්. ගුණතිලක: 2001, සුනිල් ආරියරත්න: 2003, විජිත් රොහාන්: 2006, රොමේෂ් නෝනිස්: 2014, ප්‍රනාන්දුපුල්ලේ:2017)

එම පර්යේෂකයන් අතර ගොන්සාල්වෙස් සාහිත්‍යය පිළිබඳ පර්යේෂණ සිදු කළ පුරෝගාමියා ආචාර්ය දොන් පීටර් මාහිමියන් (1991) වන අතර, පීටර් මාහිමියන්ගේ පර්යේෂණ ගොන්සාල්වෙස් සාහිත්‍යය කේන්ද්‍ර කරගනිමින් සිදු වූ පර්යේෂණ විය. තවද පීටර් මාහිමියන් පසුකාලීනව සිදු කළ පර්යේෂණ ග්‍රන්ථ හතරක් මගින් ද (ගොන්සාල්වෙස් පඬිවරයාණෝ:1991, ගොන්සාල්වෙස් පාඨාවලි:2001, ඥානාජනය:1994) අවධානය යොමු කරන්නේ ගොන්සාල්වෙස් සාහිත්‍යය සහ දේශීය සාහිත්‍යය අතර පවතින සම්බන්ධතාව වෙත ය.

එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමා මුල් කාලීනව ගොන්සාල්වෙස් සාහිත්‍යය පිළිබඳ පර්යේෂණ සිදු කළ පුරෝගාමී විද්වතෙක් වන අතර ‘සිංහල ක්‍රිස්තියානි වංශය’ නැමති පර්යේෂණ ග්‍රන්ථයේ දී ගොන්සාල්වෙස් සාහිත්‍යය අරඹයා දක්වන්නේ සිංහල සාහිත්‍යයට පමණක් නොව, සිංහල නාට්‍ය අරඹයා ද ගොන්සාල්වෙස් සාහිත්‍යයේ අභාෂාය පවතින බවයි. තවද ගොන්සාල්වෙස් සාහිත්‍යය අරඹයා මෙතෙක් සිදු වී ඇති පර්යේෂණ අතුරින් මහාචාර්ය එම්.එච්.ගුණතිලකයන් ගොන්සාල්වෙස් සාහිත්‍යයේ ආභාෂය අනුව මෙරට ස්ථාපනය වූ නාට්‍ය කලාව පිළිබඳ ‘සිංහල නාඩගම් හා දමිළ කූත්තු’ පර්යේෂණ ග්‍රන්ථයේ දී සිය නිගමනයන් ඉදිරිපත් කරයි. තවද ගොන්සාල්වෙස් සාහිත්‍යය පිළිබඳව සිදු කෙරී ඇති පර්යේෂණ අතරින් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පර්යේෂණ කේන්ද්‍රගත වන්නේ ගොන්සාල්වෙස් සාහිත්‍යය තුළින් පෝෂණය වූ දේශීය සංගීතය සහ නාට්‍ය කලාව අරඹයා ය. ආචාර්ය ඇන්තනී ප්‍රනාන්දුපුල්ලේ පියතුමන් විසින් සිය ආචාර්ය උපාධිය සඳහා ඉදිරිපත් කරන පර්යේෂණය අද වන විට ගොන්සාල්වෙස් සාහිත්‍යය පිළිබඳව කෙරී ඇති සුවිශේෂම අධ්‍යයනය වශයෙන් සැලකිය හැකි අතර, ගොන්සාල්වෙස් පියතුමන්ගේ සාහිත්‍යය ව්‍යාපාරය පිළිබඳව වැදගත් නිගමනයන් ඒ තුළින් මතු කරලීමට ඔහු සමත් වී ඇත. ඒ හා සමගාමීව පර්යේෂකයන් විසින් විවිධ වූ කාල පරාසයන් තුළ දී ගොන්සාල්වෙස් සාහිත්‍යය පිළිබඳව මූලික අවධානය යොමු කර ඇතත්, ගොන්සාල්වෙස් පියතුමාගේ ග්‍රන්ථ තුළින් මතු වන දේශීය සංස්කෘතික නිරූපණය සහ සන්නිවේදන ව්‍යාපාරය සහ ඒ ආශ්‍රීත පර්යේෂණ හිඩැසක් පවති. එබැවින් එම පර්යේෂණ හිඩැස අරඹයා මාගේ පර්යේෂය සිදු කිරීමට අපේක්ෂා කරමි.

තවද ඒ තුළින් එවකට ශ්‍රී ලංකාවේ පැවති දේශීය ජන සිරිත්, විශ්වාස, ඇදහිලි ක්‍රම, දේශපාලන තොරතුරු වැනි සංස්කෘතික ලක්ෂණ මෙන්ම ගොන්සාල්වෙස් පියතුමාගේ සන්නිවේදන ප්‍රතිභාව මෙම පර්යේෂණය තුළින් අධ්‍යයනය කිරීමට බලපොරොත්තු වෙමි.



Thursday, 1 June 2023

ජනසන්නිවේදන මහගෙදර - කැලණිය විශ්වවිද්‍යාලය


ප්‍රඥාවෙන් පාරිශුද්ධත්වයට පත් වීම ආදර්ශ පාඨය කරගත් කැලණිය විශ්ව විද්‍යාලය එකළ විසූ ශ්‍රේෂ්ඨ පැවිදි පඩි රුවනක් වන රත්මලානේ ශ්‍රී ධර්මාලෝක ස්වාමින් වහන්සේ විසින් විද්‍යාලංකාර මහ පිරිවෙණ ලෙස ආරම්භ කරන ලදී.එකළ පැවති ප්‍රධාන පිරිවෙණ් ආයතන ත්‍රිත්වය එනම්,

* විද්‍යෝදය පිරිවෙණ

*විද්‍යාලංකාර පිරිවෙණ

*රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙණ 

අතර ප්‍රභල පිරිවෙණක් ලෙස බැබළීමට විද්‍යාලංකාර පිරිවෙණට හැකිවිය.

ඉන් අනතුරුව 1959 ජනවාරි 01 සිට ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය ලෙස නම් කෙරුණි.ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ විද්‍යාලංකාර මණ්ඩපය ලෙස නම් වූ මෙම සරසවිය පසුව 1978 වසරේ අංක 16 දරණ පනත මගින් කැලණිය විශ්ව විද්‍යාලය-ශ්‍රී ලංකාව ලෙස නම් විය.  

දුරාතීතයේ පටන් සංදේශ කාව්‍යයන්ගෙන් පවා වර්ණනා වී ඇති කැලණි ගං මිටියාවතේ පිහිටා ඇති මෙරට සන්නිවේදකයන් බිහි කිරීමෙහිලා කලාවේ මහ උල්පත ලෙසින් සැලකෙන කැලණිය විශ්ව විද්‍යාලයට ලාංකේය සරසවි අතර හිමිවන්නේ හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.මෙම කතාවට මුල පිරෙන්නේ මීට වර්ෂ ගණනාවකට එපිටිනි. ඒ  හැත්තෑව දශකයයි.එකල මෙරට වාතාවරණය එතරම් සුභදායී නොවුණි.රැකියා විරහිත තරුණ තරුණියන් රජයට විරුද්ධව අරගල කරන්නට විය.මේ නිසාම වෘත්තීන් අරමුණු කරගත් එනම් වෘත්තියාභිමුඛ්‍ය පාඨමාලා සහ විෂයන් මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් කිරීමට එකළ පාලකයෝ ක්‍රියා කළහ.එකළ අධ්‍යාපන අමාත්‍යවරයා වූ ඊරියගොල්ල මහතා සහ ආචාර්‍ය එඩ්වින් ආරියදාසයන්ගේ මැදිහත් වීමෙන් ලංකාවට මාධ්‍ය අධ්‍යන විෂය හදුන්වා දුනි.


කලකට පසුව 1973 දී කැලණිය විශ්ව විද්‍යාලයට Mass Communication නම් නව විෂය පැමිණියේය.එම විෂයේ ආගමනයත් සමග මෙම ඉංග්‍රීසි වචනයට සුදුසු සිංහල වචනයක් ලාංකේය සිංහල උගතුන් නිර්මාණය කරන ලදී.එම වචනය නම් "ජන සන්නිවේදනය" යි.ජන සන්නිවේදන අධ්‍යනාංශය නමින් නව අධ්‍යන අංශයක් කැලණි සරසවියේදී ඇරඹුණි.

ප්‍රධාන වශයෙන් අභ්‍යන්තර කථිකාචාර්‍යවරු දෙදෙනෙකුගෙන් හා බාහිර කථිකාචාර්‍යවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් විද්‍යාර්ථයින්ට දැනුම ලැබුණි.අද වර්තමානය වන විට ජාත්‍යන්තර කීර්තිය දිනා ඇති මහාචාර්‍ය විමල් දිසානායකයන් සහ මෙරට ජේෂ්ඨතම මහාචාර්‍යවරයෙකු වන සුනන්ද මහේන්ද්‍රයන් එකී ජන සන්නිවේදන අධ්‍යනාංශයේ ප්‍රථම අභ්‍යන්තර කථිකාචාර්යවරු විය.බාහිර කථිකාචාර්‍යවරුන් වශයෙන් 

* ආචාර්‍ය එඩ්වින් ආරියදාස

* කේ.ජයතිලක

* ඩී.බී.නිහාල්සිංහ

* ඩබ්.ඩී.අමරදේව 

යන විවිධ විෂය ක්ෂේත්‍රයන්හි ප්‍රාමාණිකයින් විද්වතුන් මෙහි ඉගැන්වීම් කටයුතුවල යෙදුනහ.සිංහල,දමිළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම ඇරඹි මෙම අධ්‍යනාංශයේ වර්තමානය වන විට ක්‍රියාත්මක වන්නේ සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය ද්විත්වය පමණි.

ශ්‍රී ලාංකේය විශ්ව විද්‍යාල සංස්කෘතියේ ප්‍රථම සහ එකම මාධ්‍ය උලෙළ වන "සංජනනී" මාධ්‍ය උලෙළ කැලණිය සරසවියෙන් බිහිවූවකි.එමෙන්ම විවාද තරගාවලි සහ නොයෙක් අංශයන්හි තරග තුළින් මෙරට විශ්ව විද්‍යාල පද්ධතියේ සුවිශේෂී ස්ථානයක් හිමි කර ගැනීමට කැලණිය විශ්ව විද්‍යාලය සමත් විය.

 අද වන විට දස දිග පුරා විසිරී පැතිරී සිටින සන්නිවේදකයන් බොහෝමයක් කැලණි සරසවියේ විද්‍යාර්ථයින් වීම විශේෂත්වයකි.ඒ අතර රූපවාහිනී ගුවන්විදුලි නිවේදකයන්,පිටපත් රචකයින්,සිනමා අධ්‍යක්ෂකවරුන්,මාධ්‍ය වැඩසටහන් නිෂ්පාදකවරුන් ප්‍රධාන වේ.

මෙලෙසින් ජන සන්නිවේදන අධ්‍යනාංශයෙන් සිදු වන මහගු මෙහෙවර කියා නිමකළ නොහැකිය.සරසවිය වැඩ වෙසෙන කැලණි සරසවියේ සොදුරු සන්නිවේදයන් තනන ජන සන්නිවේදන අධ්‍යනාංශයට තවත් චිරාත් කාළයක් දෙස් විදෙස් පතල කීර්තිමත් සන්නිවේදකයින් බිහි කරන්නට ලැබේවායි ඉති සිතින් ප්‍රාර්ථනා කරමු.


සිනෙත් දින්සර

13 කලා

සාන්ත ජෝසප් විදුහල, නුගේගොඩ 



Friday, 19 May 2023

 


මාර්ගගත අධ්‍යාපනය හමුවේ පවතින අභියෝගයන් සඳහා ප්‍රතිකාර සැලැස්මක්


සමස්ත ගෝලීය ගමන් මඟ වෙනස් කිරීම උදෙසා 2019 කොරෝනා වසංගත තත්ත්වය පුරෝගාමී වූයේ ඇතැම් සමාජ සංස්ථාවන්හි පැවති සාම්ප්‍රදායික රටාවන් ද නූතනත්වයට ගැළපෙන ආකාරයෙන් යාවත්කාලීන කරවමිනි. මානව ශරීරයට බලපෑම්කාරී වෛරසයක් වූ කොවිඩ් 19 වෛරසය විසින් සමාජ, ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික වශයෙන් විප්ලවයක් හෙවත් පෙරළියක් සිදු කිරීමට සමත් වූයේ මානව ශරීරයට සිදු කළ බලපෑමට වඩා ප්‍රබල ආකාරයෙනි. පැවති ආර්ථික සම්ප්‍රාදයන්, දේශපාලන සම්ප්‍රදායන්, ආර්ථික සම්ප්‍රදායන් සහ සංස්කෘතික සම්ප්‍රදායන් පුළුල් පරිවර්තනයන්ට ලක් කිරීමට ගෝලීය කොරෝනා වසංගතය බලපෑම්කාරී සාධකයක් වූයේ ය. ඒ අතුරින් අධ්‍යාපනික ක්‍රියාවලියට සිදු කරන ලද බලපෑම කෙරෙහි මෙම අධ්‍යයනයේ දී මූලික අවධානය යොමු විය.

ගෝලීය කොරෝනා වසංගත තත්ත්වය පෙර පාසල් අධ්‍යාපනය, පාසල් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය දක්වා වූ අධ්‍යාපන ක්ෂේත්‍රයන් කෙරෙහි ප්‍රබල බලපෑමක් සිදු කරන ලදි. මේ සඳහා බලපෑ ප්‍රධාන සාධකය වූයේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඇති වූ සමාජ දුරස්ථභාවය හමුවේ සාම්ප්‍රදායික ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදයන්ට ප්‍රවේශ වීම සඳහා පැවති ඉඩකඩ ඇහිරී යාමයි. එබැවින් සාම්ප්‍රදායික සහ භෞතික ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙන් බැහැර ව දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයන් කරා යොමු වීමට ගෝලීය ප්‍රජාවට සිදු විය. දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයේ දී මාර්ගගත අධ්‍යාපන විධික්‍රමය වෙත ප්‍රවේශ වීම සිදු විය. පැවති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගත වෙමින් ගුරුභවතුන් සහ සිසුන් භෞතික වශයෙන් පාසල වෙත නොගෙන්වා එනම්, අතත්‍ය සන්නිවේදන මාධ්‍යයන් තුළින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වෙත ප්‍රවේශ විය. තවද ශ්‍රී ලාංකේය සන්දර්භයට විශේෂිත ව සළකා බලන විට ගුරුභවතුන් සහ ශිෂ්‍යයන් ඩෙක්ස්ටෝප් පරිගණක සහ ලැප්ටොප් පරිගණක භාවිත කරමින් මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වෙත ප්‍රවේශ විය. මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට ප්‍රවේශ වීම සඳහා ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් පද්ධතිය ක්‍රියා කරන ලදි. මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට ප්‍රවේශ වීමේ දී විවිධ වූ අභියෝගයන්ට සහ ගැටලුකාරී තත්ත්වයන්ට පාසල් ප්‍රජාවට සිදු විය. සමස්ත ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි අන්තර්ජාල සංඥා පද්ධතිය ක්‍රියාත්මක නොවීම, මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා ප්‍රවේශවීමට අවශ්‍ය තාක්ෂණික උපකරණ නොමැති වීම, ගුරුවරුන්ට සහ සිසුන්ට පවතින තාක්ෂණ සාක්ෂරතාව අවම මට්ටමක පැවතීම, ආර්ථිකමය වශයෙන් මතු වන අපහසුතා ආදී ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ශ්‍රී ලාංකේය අධ්‍යාපන සන්දර්භයට ආගන්තුක පරිවර්තනයක් විය. 65%ක් වන වරප්‍රසාද අඩු දරුවන්ට ඉන් ප්‍රයෝජන ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත (ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය සඳහා දුරස්ථ අධ්‍යාපන චක්‍රලේඛය සහ මාර්ගෝපදේශය:2021).

මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය හමුවේ පාසල් ගුරුවරුන්, විදුහල්පතිවරුන්, අධ්‍යාපන උපදේශකයින් ආදී පිරිස් විවිධ වූ ක්‍රමවේදයන් අනුගමනය කරමින් මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදය සාර්ථක කර ගැනීමට කටයුතු කරන ලදි. ප්‍රාථමික ශ්‍රේණිවල සිට උසස් පෙළ දක්වා වූ සියලු ම අංශ නියෝජනය කරමින් මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ආරම්භ කිරීමට පියවර ගන්නා ලදි. තවද මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදය සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය රාමුව ද රජය විසින් සකස් කරන ලදි. එම ප්‍රතිපත්ති ප්‍රකාශන බොහෝ ප්‍රමාණයක් තුළ දි මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස්, විධිවිධාන සහ පවතින ගැටලුකාරී ස්වභාවයන් හඳුන්වා දී තිබුණත් ඒ සඳහා අවශ්‍ය විසදුම් සම්පාදනය කිරීමට එම ප්‍රතිපත්ති ප්‍රකාශන සමත් වී නොතිබුණි.

පාසල් විෂය නිර්දේශයට අනුකූල ව පාසල් අධ්‍යයන වර්ෂයක් තුළ අධ්‍යයන වාරයන් තුනකින් සමන්විත වේ. තවද අධ්‍යයන වර්ෂය අවසානයේ දී එක් එක් විෂයෙන් සිසුවා තුළ සංවර්ධනය කිරීමට අපේක්ෂිත නිපුණතා මට්ටම් පවති. 2019 වසරේ අග භාගයේ දී ආරම්භ වූ ගෝලීය කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙම අධ්‍යයන ක්‍රියාදාමය කෙරෙහි ප්‍රබල බලපෑමක් එල්ල වූයේය. මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාදාමය හමුවේ පාසල් සිසුවා තුළ නිපුණතා සංවර්ධනය කිරීමේ දී මතුවන ගැටලු පර්යේෂකයින් විසින් ඉදිරිපත් කරන ලද මුත් එම ගැටලු නිරාකරණය කරගැනීමට අවශ්‍ය ක්‍රියාකාරී මෙන් ම ප්‍රායෝගික සැලැස්මක් සකස් කිරීම කෙරෙහි පර්යේෂකයින්ගේ අවධානය යොමු වූ බවක් හඳුනාගත නොහැකි විය.

වර්තමාන ශ්‍රී ලාංකේය පාසල් පද්ධතියේ හඳුනාගත හැකි වර්ධනීය ලක්ෂණයක් වශයෙන් දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයක් වූ මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදයට මෙරට අධ්‍යාපන රටාව යොමු වීම පෙන්වා දිය හැකිය. ශ්‍රී ලංාකාවේ පාසල් අධ්‍යාපනය මාර්ගගත ක්‍රමවේදයට අනුගත වීම කෙරෙහි බලපෑ මෑතකාලීන සාධකය වූයේ 2019 වර්ෂයේ උද්ගත වූ කොරෝනා වසංගත ව්‍යාප්තිය යි. කොරෝනා වසංගතය හමුවේ පනවන ලද සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව වරින් වර රට වසා දැමීමට තීරණය කරන ලදි. එම තීරණයන් හමුවේ ශ්‍රී ලංකාවේ පාසල් ද වසා දමන ලද්දේ එම සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමිනි. පසුව මතු වූ තත්ත්වය හමුවේ අධ්‍යාපන ක්‍රියාවලිය අඛණ්ඩ ව පවත්වා ගෙන යාමේ අභියෝගයට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුද්ගලයින් මුහුණ දුනි. එම අභියෝගය හමුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය මාර්ගගත ක්‍රමයට අනුවර්තනය කිරීමට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පිරිස් විසින් තීරණය කරන ලදි. ‘ගෝලීය කොරෝනා වසංගතය සමඟ පෙර පාසල් අවධියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසු දරුවන්ට සාම්ප්‍රදායික අධ්‍යාපනයට ප්‍රවේශ වීමට ඇති අවස්ථා ඉතාමත් සීමිත වී ඇත’ (ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය සඳහා දුරස්ථ අධ්‍යාපන චක්‍රලේඛය සහ මාර්ගෝපදේශ:2021) ඒ අනුව විශ්වවිද්‍යාල, පාසල් සහ වෙනත් අධ්‍යාපන ආයතන විසින් මාර්ගගත ක්‍රමවේදයට අනුගත වෙමින් අධ්‍යාපන ක්‍රියාවලිය පවත්වා ගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලදි. ඒ අතරින් ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය ද මාර්ගගත ක්‍රමවේදයට අනුව අධ්‍යාපන කටයුතු පවත්වා ගෙන යාමට අවශ්‍ය විධි විධාන සකස් කරන ලදි. ඊට අවශ්‍ය ප්‍රතිපත්ති අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඉදිරිපත් කරන ලදි. අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ශාඛාව විසින් නිකුත් කර තිබුණු ‘මාර්ගගත අධ්‍යාපන මාර්ගෝපදේශ සංග්‍රහය’ (2021) මගින් නිවේදනය කර තිබුණේ පාසල් අධ්‍යාපන ක්‍රමවේදය මාර්ගගත ක්‍රමවේදයට අනුව පවත්වා ගෙන යාමට අවශ්‍ය පරිසරය විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ දෙමාපියන් විසින් සකස් කර දිය යුතු බවයි.

කිසියම් වූ ක්ෂේත්‍රයක් තුළ දී මතුවන ගැටලු නිරාකරණය කිරීම උදෙසා කාර්යමූලික පර්යේෂණ උපයා මාර්ගය භාවිත කිරීම පර්යේෂණ සාහිත්‍යයේ දී හඳුනාගත හැකි විය. තවද අධ්‍යාපනික ක්ෂේත්‍රයේ දී මතු ව ඇති සමකාලීන ගැටලු විද්‍යාත්මක පදනමක සිට නිරාකරණය කරගැනීමට සහ ඒවාට අවශ්‍ය විසඳුම් සහ ක්‍රියාකාරී වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා ක්‍රියාකාරී පර්යේෂණ හෙවත් කාර්යමූලික පර්යේෂණ වඩාත් ඉවහල් වේ. ‘අධ්‍යාපනික කාර්යමූලික පර්යේෂණය පන්ති කාමරයක් තුළ හෝ පාසල් ප්‍රජාව තුළ කෙරෙන විධිමත් පරීක්ෂණ දෙකකින් සමන්විත වේ. එනම්, වෘත්තීය අවලෝකනය සහ පර්යේෂණ පාදක කරගත් ව්‍යවහාර භාවිත කිරීම වේ.’ 

මාර්ගගත පන්තියක් පැවැත්වීම සඳහා ක්‍රියාකාරී සැලැස්ම

1. ඉගෙනුම් ක්‍රියාවලිය මාර්ගගත ක්‍රමවේදයට අනුව සකස් කිරීමේ දී පාසල් සිසුන් ව අදාළ තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සිදු කළ යුතුය. මෙහිදි මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට යොදාගන්නා තාක්ෂණික මෘදුකාංගයන් භාවිත කිරීම සම්බන්ධයෙන් පාසල් සිසුවාට ප්‍රායෝගික පුහුණුවක් ලබා දීම සිදු කළ යුතුය.

2. මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා සිසුන් වැඩි ප්‍රතිශතයක් සම්බන්ධ වන්නේ ජංගම දුරකථනය තාක්ෂණික මෙවලම වශයෙන් තෝරා ගනිමිනි. එබැවින් මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී ඒ පිළිබඳ ව ගුරුවරයා දැනුම්වත් වී තිබිය යුතුය.

3. මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදයේ දී වඩාත් ප්‍රතිඵලදායී අධ්‍යාපනයක් උදෙසා ගුරුවරයා විසින් ඪසාැද දබ පහසුකම යටතේ පන්තියට සහභාගී වීම අනිවාර්ය සාධකයක් වේ. මෙය සිසුන්ගේ අවධානය රඳවා ගැනීමට සාර්ථක ක්‍රමවේදයකි.

4. ගුරුවරයා පන්තියට සහභාගී වීමේ ්මාසද දබ පහසුකම යටතේ මාර්ගගත පන්තිය සඳහා සහභාගී නොවිය යුතුය. එසේ පන්තියට සහභාගී වීම ඔස්සේ සිසුවාගේ පාඩමට පවතින අවධානය ගිලිහි යයි. එබැවින් ගුරුවරයා විසින් මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී  ඪසාැද දබ පහසුකම භාවිත කිරීම සිදු කළ යුතුය.

5. මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී ගුරුවරයා විසින් සිය නිපුණතාව ඉගැන්වීම සඳහා ඡදඇර ඡදසබඑ ඡරුිැබඒඑසදබ භාවිත කිරීම සිදු කළ යුතු වන අතර, එය අදාළ නිපුණතා මට්ටම් සංවර්ධනය කිරීම සඳහා බලපෑම්කාරී සාධකයක් වෙයි.

6. මාර්ගගත පන්තියේ දී ගුරුවරයා විසින් උයසඑැ ඊද්රා ආධාරයෙන් ඉගැන්වීම සිදු කළ යුතුය.

7. මාර්ගගත පන්තිය පැවැත්වීමෙන් පසුව එම මාර්ගගත පන්තිය නැවත නැරඹීමට අවස්ථාව ලබා දීමට මෙන් ම මාර්ගගත පන්තියට සහභාගී නොවූ සිසුන්ට එම පන්තිය නැරඹීමට අවස්ථාව ලබා දෙමින් මාර්ගගත පන්තියේ ඍැජදාසබට ලබා දීම සිදු කළ යුතුය. මෙය නිපුණතා මට්ටම් සංවර්ධනය ඉවහල් වේ.

8. ගුරුවරයා විසින් මාර්ගගත පන්තියේ සාර්ථකත්වය උදෙසා සිය පාඩමට අදාළ වන ආකාරයෙන් ශදම ඔමඉැ භාවිත කිරීම වඩාත් ප්‍රතිඵලදායී වේ. මේ තුළින් නිපුණතාවට සිසුන්ගේ ආකාර්ෂණය දිනා ගැනීමට හැකියාව ලැබීම මෙන් ම සිසුන්ගේ අවධානය දිනා ගැනීමට ද මේ ඔස්සේ හැකියාව ඇත.

9. මාර්ගගත පන්තිය සඳහා සිසුන් සහභාගී වීමේ දී සමීක්ෂණයේ දත්ත විශ්ලේෂණය අනුව පෙනී යන්නේ සිසුන් වැඩි ප්‍රතිශතයක් ඪසාැද දබ  පහසුකම යටතේ පන්තියට සහභාගී වීමට අකමැත්ත දක්වන බවයි. නමුත් මාර්ගගත පන්තිය සඳහා සිසුන් සහභාගී වීමේ දී ඪසාැද දබ පහසුකම ඔස්සේ සිසුවා පන්තියට සහභාගී වීම සිසුවා අධීක්ෂණයට ගත හැකි පියවරකි. එමනිසා මාර්ගගත පන්තියේ දී සිසුවා වරින් වර ඪසාැද දබ කිරීම සිදු කළ යුතුය.

10. මාර්ගගත පන්තිය පවත්වන අවස්ථාවේ දී ගුරුවරයා විසින් දේශනා ක්‍රමවේදයට වඩා මාර්ගගත පන්තිය තුළ දී සටහනක් ලිවීමට සිසුවා පෙළඹවිය යුතුය. තවද මාර්ගගත පන්තියට සහභාගී වීමට පෙර සටහනක් ලිවීමට සිසුවා යොමු කර පන්තිය තුළ දී එය සාකච්ඡා කිරීම ද සිදු කළ හැකිය.

11. මාර්ගගත පන්තිය සඳහා සිසුන් සහභාගී වීමේ දී පන්තිය ශ්‍රවණය සඳහා ීචැ්නැර භාවිත කිරීමට සිසුන් යොමු කළ යුතුය.

12. මාර්ගගත පන්තියේ දී ගුරුවරයා විසින් සිසුවා ඵමඑැ කිරීම සිදු කිරීම සුදුසු නොවේ. නමුත් මාර්ගගත පන්තියට එය බාධාවක් නම් ඵමඑැ කිරීම සිදු කළ යුතුය. තවද මාර්ගගත පන්තියේ දී සිසුන්ට ප්‍රතිපෝෂණය දැක්වීම සඳහා අනිවාර්යයෙන් අවස්ථාව ලබා දිය යුතුය. එසේම සිසුන්ට ප්‍රතිපෝෂණය දැක්වීමට ක්‍ය්එ ඊදං  භාවිත කිරීමට අවස්ථාව සලසා දිය යුතුය.

13. මාර්ගගත ඉතිහාසයක් පන්තියක් පැවැත්වීම සඳහා වඩාත් උචිත ම පළමු කාලය වන්නේ උදෑසන කාලයයි. දෙවනුව සවස් කාලය ද මාර්ගගත පන්තියක් පැවැත්වීමට සුදුසු කාලය වේ.

14. විෂය සඳහා පන්තියක් මාර්ගගත ආකාරයෙන් පැවැත්වීමේ දී, එම පන්තියක් පැය 2-2 1/2 අතර කාලයක් පැවැත්වීම වඩාත් යෝග්‍ය වේ.

15. විෂයේ නිපුණතා සිසුවා තුළ සංවර්ධනය කිරීමේ දී ඉතිහාසය මාර්ගගත පන්තියක් පැවැත්වීමට පෙර සටහන සිසුන් වෙත ලැබීමට සලස්වා, එම සටහන සිසුන් විසින් සටහන් කර ගැනීමෙන් අනතුරු ව සිසුන් සම්බන්ධ කරගනිමින් මාර්ගගත පන්තියක් පැවැත්වීම වඩාත් ප්‍රතිඵලදායක වේ.

16. මාර්ගගත පන්තියක් තුළ දී විෂය තුළ අන්තර්ගත න්‍යායික කරුණු පැහැදිලි කිරීම, ප්‍රශ්නෝත්තර සාකච්ඡා කිරීම සහ සිතියම් අධ්‍යයනය කිරීම වැනි අභ්‍යාසය සිදු කිරීම තුළින් විෂය සඳහා සිසුවාගේ අවධානය රඳවා තබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

17. මාර්ගගත පන්තියක් පැවැත්වීමේ දී  ’දදපල ඵසජරදිදඓ ඔැ්පිල උය්එඑි්චච  යන තාක්ෂණික යෙදවුම් භාවිත කිරීම වඩාත් යෝග්‍ය වේ.

18. විෂයට අදාළ විෂය නිපුණතා සංවර්ධනය කිරීමේ දී සිතියම් අධ්‍යයනය කිරීම සඳහා සිතියම් ඡාf මාධ්‍යයෙන් සිසුන් හට ලබා දී, මාර්ගගත පන්තියේ දී සිසුන් හා සම්බන්ධ වෙමින් සිතියම් අධ්‍යයනය කළ යුතුය.

19. විෂයට අදාළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර සාකච්ඡා කිරීමේ දී සිසුන්ට පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඡාf මාධ්‍යයෙන් ලබා දී, ප්‍රශ්න පත්‍රය ීය්රු දචඑසදබ යටතේ සිසුන්ට ප්‍රදර්ශනය කරමින් සිසුන්ගෙන් පිළිතුරු ලබා ගැනීමට ගුරුවරයා ක්‍රියා කළ යුතුය.

20. විෂයට අදාළ මාර්ගගත පන්තියක් පැවැත්වීමේ දී අදාළ නිපුණතා මට්ටම්වලට වඩාත් සුදුසු සම්පත් දායකයින් සම්බන්ධ කරගනිමින් මාර්ගගත පන්තිය පැවැත්වීම සිදු කළ යුතුය.

21.මාර්ගගත පන්තියක් පැවැත්වීමේ දී ශිෂ්‍යයා අන්තර්ජාලය ඔස්සේ විෂය කරුණු සෙවීමට යොමු කරමින් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයට ප්‍රමුඛස්ථානයක් ලබා දිය යුතුය.


මේ ආකාරයට මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදය වඩාත් සාර්ථක ආකාරයෙන් සිදු කිරීමට නම් ඉහත සඳහන් ආකාරයෙන් ප්‍රතිකාරාත්මක සැලැස්මක් අනුගමනය කළ යුත්තේ ය.


දමිත් සුමේන්ද්‍ර පෙරේරා

පශ්චාද් උපාධි අපේක්ෂක

කැලණිය විශ්වවිද්‍යාලය


Sunday, 16 April 2023

මනෝවිදයාව සහ පාපොච්චාරණය

 මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරයක් වූ සමගි සන්ධානය


මිනිස් ශරීරයේ හටගත් වේදනා ගෙන දෙන ගෙඩියක් සැත්කමක් ඔස්සේ ඉවත් කරමින්, එම පුද්ගලයාට සහනය ගෙන දිය යුතුය. නො එසේ නම් එම ගෙඩිය හේතුකොට ගෙන පුද්ගලයාගේ කය රෝගී වී අවසානයේ මරණයට වුව ද ළඟා විය හැකිය. මිනිස් කය මෙන් ම මිනිස් සිත ද මේ තත්ත්වයට ගොදුරු විය හැක්කේ ය. මිනිසාගේ සිත තුළ හට ගන්නා සිතුවිලි හේතුවෙන් පුද්ගල සිත රෝගී විය හැකිය. ඒ හේතුවෙන් රෝගී තත්ත්වයේ පසුවන සිතෙහි හටගන්නා සිතුවිලි හේතුවෙන් පුද්ගලයා සියදිවි නසා ගැනීමට වුව ද ගමන් කරයි. එබැවින් වෛද්‍යවරයෙකු මිනිස් කයට ප්‍රතිකාර කරන්නා සේ මිනිස් මනසට ප්‍රතිකාර කිරීමට ද උපදේශකයෙකු හෝ මාර්ගෝපදේශකයෙකු සිටිය යුත්තේ ය. සිග්මන් ෆ්‍රොයිඩ් දක්වන ආකාරයට මෙලොව ජීවත් වන පුද්ගලයින් සිය ජීවන කාලයේ දී කිසියම් එක් අවස්ථාවක හෝ මානසික අපහසුතාවකට මුහුණ දෙනු ලබන අතර එවැනි අවස්ථාවල දී පුද්ගලයින්ගේ මානසික සමතුලිතතාවය ඇති කර ගැනීමට පුද්ගලයාගේ මනස කටයුතු කරනු ලබයි. නමුත් ඇතැම් අවස්ථාවල දී මානසික අපහසුතාවන්ට මුහුණ දීමට මනසට ක්‍රියා කිරීම අපහසු වන කල්හි තවත් පාර්ශවයකගේ සහයෝගය පුද්ගලයාට අවශ්‍ය වේ.

මනෝ විද්‍යාවේ දී භාවිත වන භාවිත වන ‘නිදහස් සංඝටන ක්‍රමය’ Free  Association තුළින් මනසට ප්‍රතිකාර කිරීමක් සිදු කරයි. මනෝ විශ්ලේෂණවාදයේ දී භාවිත වන ප්‍රධානත ම මනෝ උපදේශන න්‍යායක් වන නිදහස් සංඝටන ක්‍රමය තුළ දී පුද්ගලයාගේ යටි සිතෙහි තැන්පත් ව සැඟ ව ඇති සිතුවිලි ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දේ. මෙමගින් පුද්ගලයන්ට නොපැකිලි ව තමන්ගේ යටි සිතේ සැඟ ව ඇති අදහස් නිදහසේ තවත් පුද්ගලයෙකු වෙත සන්නිවේදනය කිරීමට හෙවත් ප්‍රකාශ කිරීමට අවස්ථාව උදා වේ. මේ නිසා මනසේ ඇති වේදනාකාරී සිතුවිලිවලින් මිදීමට පුද්ගලයාට අවස්ථාව උදා වන අතර මනසට මේ ඔස්සේ මනසට ලැබෙන්නේ සහනයකි: ප්‍රතිකාරයකි. නිදහස් සංඝටනය තුළින් යටි සිතේ සැඟ ව ඇති දේ තවත් පුද්ගලයෙකු වෙත ප්‍රකාශ කිරීමෙන් අනතුරු ව එම පුද්ගලයාට යටි සිත පිරිසිදු කර ගැනීමට අවස්ථාව උදා වේ. තවද පුද්ගල මනස තුළ තැන්පත් ව ඇති අයහපත් අදහස්වලින් පුද්ගල සිත නිදහස් කර ගැනීමට මෙය මහඟු අවස්ථාවකි. එබැවින් මෙය භාව විමෝචනය වශයෙන් ද මනෝ විද්‍යාව තුළ දී භාවිතයට ගැනෙයි. මෙය මනෝ විද්‍යාවේ දී උපදේශනය ලබා දීමට භාවිත කරනු ලබන ප්‍රධාන උපදේශන ක්‍රමවේදයකි. මෙම ලිපියේ පරමාර්ථය වන්නේ මනෝ විද්‍යාත්මක ප්‍රතිකාරයක් වූ සමගි සන්ධානය හෙවත් පාපොච්චාරණය දේව ප්‍රසාද නිධානය පිළිබඳ ව නව කියවීමක් වෙත යොමු වීමටයි.

ශ්‍රී ලංකාවේ පුද්ගල සිය දිවි නසා ගැනීම් පිළිබඳ බොහෝ තොරතුරු ජනමාධ්‍ය මෙන් ම නවමාධ්‍ය තුළින් නිරන්තරයේ අපට දැන ගැනීමට අවස්ථාව උදා වෙයි. වරින් වර විවිධ වූ හේතු නිසා පුද්ගලයින් සිය දිවි නසා ගැනීමට යොමු වන්නේ පුද්ගල මනස තුළ ඇති කරගන්නා වූ සංවාදයකින් අනතුරුවයි. එබැවින් සිය දිවි නසා ගැනීමට යොමු වන පුද්ගලයාගේ මනසට නිසි ප්‍රතිකාරයක් ලැබෙන්නේ නම් එම ක්ෂණික සිතුවිල්ලෙන් ඔහුට හෝ ඇයට මිදීමට අවස්ථාව උදා වෙනු ඇත. එක් වසරක් තුළ ශ්‍රී ලංකාවේ සිය දිවි නසා ගැනීම්වලට යොමු වූ පුද්ගලයින්ගේ විස්තර ආශ්‍රයෙන් ඔවුන්ගේ ආගම පිළිබඳ පර්යේෂණයක් සිදු කළහොත් ඔවුන්ගේ ආගම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට අවස්ථාව අපට අවස්ථාව හිමිවනු ඇත. ඒ අතරින් වාර්ෂික ව කතෝලික බැතිමතුන් කොපමණ සංඛ්‍යාවක් සිය දිවි නසා ගැනීම් සඳහා යොමු වී පවතිනවා ද? යන්න සොයා බැලිය යුතුය. ඉන් එක් පුද්ගයෙකුගේ ජීවිත කතාව ඔස්සේ ඔහු හෝ ඇය සමගි සන්ධාන සක්‍රමේන්තුව කොපමණ වාරයක් ලබාගෙන පවතිනවා ද? යන්න සොයා බැලිය යුතුය. සිය දිවි නසා ගැනීමට යොමු වූ පුද්ගලයා සිය දිවි නසා ගැනීමට යොමූ වීමට බලපෑ හේතු කාරණා පිළිබඳ ව අධ්‍යයනය කළ යුතුය. බොහෝ අවස්ථාවල දී පුද්ගලයාගේ සිතෙහි ඇති වන කිසියම් වේදනාකාරී හැඟීමක් තවත් අයෙකු සමඟ බෙදා ගැනීමට ඇති නොහැකියාව හමුවේ සිය දිවි නසා ගැනීමට යොමු වීම එකම ප්‍රතිකර්මය බව ඔහුට හෝ ඇයට වැටහේ. එවන් පරිසරයක් තුළ එම සිය දිවි නසා ගැනීමට බලපෑ හේතුවලට සමගි සන්ධානය ප්‍රසාද නිධානය මගින් කොතරම් දුරට සහනයක් හිමි කර ගැනීමට හැකියාව පවතින්නේ දැයි අප අධ්‍යයනය කළ යුතුය. මෙම ලිපියේ දී රචකයා විසින් පෙන්වා දීමට වෙර දරන්නේ පුද්ගල මනසට මානසික ප්‍රතිකාරයක් ලබා ගැනීමට සමගි සන්ධානය ප්‍රසාද නිධානය හේතුවන බවයි. කතෝලික බැතිමතෙකු වශයෙන් මනසට පීඩා ගෙන දෙන සිතුවිලි හමුවේ ගත යුතු ප්‍රධානත ම තීරණය වන්නේ සිය දිවි නසා ගැනීමට යොමු වීම නොව සමගි සන්ධානය සක්‍රමේන්තුව ලබා ගැනීමට යොමු වීමයි. ඒ මේ තුළින් පුද්ගල මනසට මනා වූ ප්‍රතිකාරයක් හිමිවන බැවිනි.

ක්‍රිස්තියානි ධර්මයට අනුව දිවිගෙවන පුද්ගලයෙකුට දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ලබා ගත හැකි සක්‍රමේන්තු හෙවත් දේව ප්‍රසාද නිධාන හතක් පවති. ප්‍රසාද ස්නාපනය, සමගි සන්ධානය, දිව්‍ය සත්ප්‍රසාදය, අභිවෘද්ධි ආලේපය, ආශිර්වාදකාර බන්ධනය, පූජාත්වරය සහ රෝගීන්ගේ ආලේපය එම ප්‍රසාද නිධාන හත වේ. මේ අතරින් සමගි සන්ධානය ප්‍රසාද නිධානය පාපොච්චාරණය නමින් ද හැඳින්වේ. පාපොච්චාරණය සක්‍රමේන්තුව තුළින් පාපයන් නිසා දෙවියන්ගෙන් දුරස් වූ පුද්ගලයාට සමාව හිමිවන අතර මින් මතු පව් නොකිරීමට අවශ්‍ය ශක්තිය ලබා දේ. මෙම දේව ප්‍රසාද නිධානය තුළින් අප අතින් සිදුවන පාපයන්ට සමාව ලබා ගැනීමට ඉඩ ප්‍රස්තාව සලසා දෙයි. කතෝලික සභා ඉගැන්වීම්වලට අනුව දෙවියන් වහන්සේට විරුද්ධ ව සිදු කරන ලද පාපයන්ට සමාව ලබා ගැනීම උදෙසා පාපොච්චාරණය නැමති සක්‍රමේන්තුව ජේසුස් වහන්සේ විසින් ස්ථාපිත කර ඇත. මෙම සක්‍රමේන්තුව දානය කිරීමේ බලය පැවරෙන්නේ කතෝලික පූජාප්‍රසාදිවරයෙක් හට ය. මෙහිදි පාපොච්චාරණ සක්‍රමේන්තුව ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයා පූජාප්‍රසාදිවරයෙක් හමු වී නිසි වත්පිළිවෙත්වලට අනුව පාපොච්චාරණ සක්‍රමේන්තුව ලබා ගැනීම සිදු කරයි. තවද පාපොච්චාරණ අපේක්ෂකයා විසින් තමන් විසින් සිදු කරන ලද තමන්ට මතක ඇති පාපයන් පූජාප්‍රසාදිවරයා හමුවේ උච්චාරණය කරයි. පූජාප්‍රසාදිවරයා විසින් අපේක්ෂකයාගේ පාපොච්චාරණයෙන් අනතුරු ව අපේක්ෂකයාට උපදෙස් ලබා දී ඉටු කිරීමට දඬුවමක් ලබා දේ. මෙම අවස්ථාවේ දී ලබා දෙන දඬුවම යාච්ඤාමය දඬුවමකි. මෙම සමගි සන්ධානය සක්‍රමේන්තුව හමුවේ පුද්ගලයාගේ මනස තුළ තැන්පත් ව ඇති පාපයන් පූජාප්‍රසාදිවරයා හමුවේ උච්චාරණය කිරීමට හැකි වේ. මේ තුළින් අදාළ පාපොච්චාරණ අපේක්ෂකයාගේ මනසට සැහැල්ලුවක් හිමිවන අතර, මනසේ පවතින මනසේ පවතින දරාගත නොහැකි හැඟීම්වලට සහනයක් හිමි වේ. මේ ඔස්සේ පුද්ගල මනසට හිමිවන්නේ මානසික සුවයකි. එබැවින් සමගි සන්ධනාය හෙවත් පාපොච්චාරණය එක්තරා ආකාරයකට මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරයකි. කතෝලික බැතිමතුන් සඳහා ම වෙන් වූ මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරයකි. එමනිසා එම මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරය ලබා ගැනීමට සුදුසු පරිසරය සහ ප්‍රතිපත්තිමය රාමුව කතෝලික සභාව විසින් සකස් කොට ඇත්තේ ය.

දමිත් සුමේන්ද්‍ර පෙරේරා

ප්‍රාදේශීය මාධ්‍ය

  ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය මාධ්‍ය වර්ධනය  සන්නිවේදන අධ්‍යයනය තුළ දී හදුනා ගත හැකි ප්‍රවණා අතුරින් ප්‍රාදේශීය මාධ්‍ය හිමිකාරීත්වය වර්ධනය වීම ක...